VOV අවන්හලෙන් හමුවන නිර්මාංශ හැම් බේකන් කන්න 

බත්ම කාලා එපා වුණාම අපි ඊට වඩා වෙනස් කෑමක් හොයනවා නේද ? ඔන්න අද අපි යන්නෙ බත්වලට වඩා වෙනස් කෑම ගොඩාක් තියෙන වී.ඔ.වී අවන්හලට. මේ අවන්හල අපට පුරුදුයි. ඊට හේතුව අපේ කාර්යාලයට ළගපාත තියෙන නිර්මාංශ ආහාර තියෙන හොදම අවන්හලක් විධියට තමයි අපි වී.ඔ.වී අවන්හල හදුනාගෙන තියෙන්නෙ. ගිහිල්ලා කන්න වගේම ගෙදරටම කාර්යාලයටම වැඩබිමටම ගෙනනවගෙන කන්නත් වී.ඔ.වී අවන්හලේ පහසුකම් තියෙනවා. ඒ නිසා අපි අද කන්න යන කෑම කෑවායින් පසුව ඔයාලට හිතෙනවා නම් රස විදලා බලන්න කිසිදු අපහසුතාවයකින් තොරව ඇණවුමක් දා ගන්න පුළුවන්.

වී.ඔ.වී අවන්හල  THE VOV (VOV)

වී.ඔ.වී අවන්හල පිහිටලා තියෙන්නෙත් කොළඹ 07. ඒ නිසාද දන්නෙ අපි වී.ඔ.වී කියලා කිව්වට මේකේ හරිවිධියට බැලුවොත් ලෝගෝ එකේ ඉදන් වී.ඔ.වී එක්ක 7 කියලත් දාලා තියෙනවා. හත කියලා දාලා තිබ්බට ඒවා ගැන හිතන්න යන්න එපා. හතේ හත වැදුනත් නොකා නොබී නම් ජීවත්වෙන්න බැහැ. නිර්මාංශ ආහාර කෑමට ගන්න අය නම් අනෙක් අයට වඩා ලෝකෙට රටට ආදරය කරන මිනිස්සු. ඒ නිසා ඒ ගැම්මත් එක්ක මේ වගේ තැනකට යන්න උවමනායි කියලායි මම හිතන්නේ. තඩ්ෂාජනී  අපේ වාහනය නැවැත්තුවේ වී.ඔ.වී එකත් පහුවෙලා. මම දැක්කා වී.ඔ.වී කියලා ගහපු නාම පුවරුවකුත් පහුවෙනවා. ඇත්තටම බැහැලා බැලුවම, මහ පාර අයිනෙ ඒ කියන්නෙ කොළඹ හතේ ලොන්ඩන් පෙදෙසේ 30/81A කියන තැන පාරට හේත්තුවෙන්නම කලු ලෑල්ලක රට හුණු කෑල්ලකින් ලියපු කලාත්මක දැන්වීම් පුවරුවකුත් තියලා තියෙනවා. ඒ නිසා වී ඔ වී බලාගන්න අමාරු නෑ. බීඑම්අයිසීඒච් එක පිටුපස්සෙ වුණාට වට පිටේ මනස්කාන්ත පරිසරයක් නම් නෑ. ඇත්තටම ගෙදරටකට ඇතුලුවෙලා. නිර්මාංශ කෑම ටිකක් කන්න කැමැති අයට, අවන්හලක තියෙන නිදහස හුදෙකලාව ඔන විධියට මෙතන හොයා ගන්න පුළුවන්. 

ඉතිං අපි දෙන්න ආවා. තඩ්ෂාජනීට හොදටම බඩගිනියි. අපට හොද පිළිගැනීමක් තිබුණා. මීට්ලස් මන්ඩේ ශ්‍රි ලංකා  (Meatless Monday Sri Lanka) කණ්ඩායමෙන් කිව්වාම තවත් පිළිගැනීම වැඩිපුර ලැබුණා. අපි වැඩේට බැස්සෙ කෑම වට්ටෝරුව බලලා ඇණවුමක් දාලයි. ඊට කලින් බොමුද සීතල වතුර එකක් කියලා මට අවන්හල් හිමියා විමසුවා. මම කිව්වා නෑ මට දෙන්න උණුසුම් වතුර එකක් කියලා. 

මෙතන විශේෂ තැනක්. මෙතන තියෙන ඔනෑම කෑමක් නිර්මාංශ කෑමක් (Vegan) බව අවධාරණය කළ යුතුමයි.

ග්‍රෑන්ඩ් බර්ගර් (BBQ Mushroom Burger)

ග්‍රැන්ඩ් බර්ගර් එකක මිල රුපියල් 600යි. ඇණවුම දීලා මිනිත්තු 10-15ක් අතර අපට බලාගෙන ඉන්න වුණා. ඒකට කමක් නෑ.අර කියන්නෙ දැක්ක ගමන් කන්න හිතුණා කියලා. පෙනුම නම් පන්කාදුයි. බර්ගර් එක තියලා, එකට අල කැබලි බැදලා දාලා තිබුණා. ඒ වගේම තක්කාලි සෝස් දීසියකුත් තිබුණා. බර්ගර් එකේ තියෙන ජාති ගත්තම හතු තමයි මැදට දාලා තිබුණෙ, හැබැයි අර මාංශ ආහාර අරගෙන පුරුදුවෙලා පස්සෙ නිර්මාංශ ආහාර වලට අවතීර්ණවුණ කෙනෙක් මේක කෑවා නම් ෂා මස්වගේ මැදට දාලා තියෙන හැමදේම කියලා කියනවා නොඅනුමානයි. මම ඒ වගේ කෙනෙක් නිසා ඔන්න මස් රහම මේ බර්ගර් එකේ තියෙනවා. දැන් ඉතිං අපොයි කියලා කියන්න එපා. මම එහෙම කිව්වෙ අර රහ හොයන අයට පහසුවට. හැබැයි අර පුලුටු මස් කනවාට වඩා මේ නිර්මාංශ ආහාරය ‌දහසක් නෙමෙයි කෝටිගාණක් වටිනවා. ලුණු තියලා, සලාද තියලා මේ කෑම එක තවත් රස වෙන්න ජාති ගොඩක් තිබුණා. හැමදේම නිර්මාංශ නිසා. ආයෙ හිතන්නවත් දෙයක් නෑ.

හතු සුප් පානය (Mushroom Soup)

බර්ගර් එක ගැන හිතනකොට මෙසේ උඩ තියෙන සුප් එකට මොකද කරන්නෙ කියලා වගේ හැගීමක් ඇතිවෙනවා. මේක හතු සුප් එකක්. රුපියල් 500ක් වෙනවා. ගාණ වගේ නෙමෙයි මේකෙ රහ. ඔන්න මම බොන්න පටන් ගත්තා. පොල්කිරි වැඩිපුර දාලා හතු දාලා තමයි හදලා තිබුණෙ. තව හතු ටිකක් විතර මේ සුප් එකට වැටුණා නම් හොදයි කියලයි මට හිතුණෙ. ඉතිං කෝ අර දමිළ මිතුරිය කියලා ඔයාලා කල්පනා කරන්න එපා. අපේ මිතුරිය හරි ලජ්ජා බයට හැදුණු ගමේ ගෑණු ළමයෙක්. මම සුප් කෝප්පෙම උණත් හිස්කරනකම් බලාගෙන ඉදියි. මට එපා කියලත් කියනවා. ආ එහෙම කොහොමද බොන්න ඔන (සුප් හොදේ ) කන්න ඔන මම එහෙම කිව්වම තඩ්ෂාජනී හිනා වෙනවා. හිනා නෙමෙයි දෙමළෙන් අපේ වැඩසටහන බලන අයට ඒ ටී.වී එකේ. නැත්නම් මේ ටික කියවන අයට මොනවද කියන්නෙ කියලා මම ඇහුවම තඩ්ෂාජනීත් අදහස වෙනස් කළා. ඇයට කෙසේ වෙතත් මේ සුප් පානය නම් මට පංකාදුයි. හතු සුප් ඉස්තරම්.

සුපර් සුප්‍රිම් පීසා (Super Supreme Pizza Medium)

තඩ්ෂාජනීගේ කැමැත්ත සුපර් සුප්‍රීම් පීසා එකකට. තඩ්ෂාජනී පීසා කන්න කැමතියි වගේ එකකුත් මෙතන මතුවුණා. අපි ඔන්න උතුරෙන් ආපු අදහසටත් තැනක් දුන්නා. තඩ්ෂාජනීට අවා සුපර් ස්‍රප්‍රිම් පීසා එකක්. ෆොටෝ එකක් ගහගන්නකම් විතරයි තඩ්ෂාජනී ඉවසුවේ. පීසා කෑල්ලක රහ බලන්න වුණා. ඇය පීසා කෑල්ල කෑවේ ආශාවෙන්. ඒත් ඒ රහ ගැන තඩ්ෂාජනීට එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. මම පීසාවලට ආදරය කරන්නෙක් නෙමෙයි. නමුත් පීසා කෑල්ලක් කෑවා. මට නම් අතරමැද රහක් තිබුණේ. මේක මාරයි කියලා නම් කියන්න බැහැ. තඩ්ෂාජනී කිව්ව කතාව ඇත්ත. ඒත් මම නම් කියන්නෙ ඔයාලත් එක දවසක් රස විදලා බලන්න. මේ පීසා එකේ අඩුම කුඩුම ගොඩක් තියෙනවා. වී.ඔ.වී එක මේක පාරිභෝගිකයන්ට දෙන්නෙ එයාලගෙ හොදම පීසා එක විධියට. නමුත් තඩ්ෂාජනී කියනවා මීට කලින් කාපු වෙනත් වී.ඔ.වී පීසා එකක් මීට වඩා රහයි කියලා. දන්න අය දැන් ඔන්න පෝලිමේ අපට කමෙන්ට් කරන්න හොදේ  හදාගත් ගම්මිරිස්, හැම් බිම්මල් ( අර මම කලින් කිව්වෙ හැම් ) කොළ ගම්මිරිස්, ස්පයිසි බේකන්,රතු ලූණු, කළු ඔලිව්,තක්කාලි සෝස්, මොසරැල්ලා චීස් මේ පීසා එකේ තියෙනවා. චීස්, හැම්, බේකන් ගැන කියවුණාට බය වෙන්න එපා මේ හැමදේම මෙතන නිර්මාංශ නිෂ්පාදන කියලා අපේ කළමනාකරණ අධ්‍යක්ෂතුමා නැත්නම් හිමිකරු කිව්වා. මම තමයි අර කළමනාකරණ තනතුර දැම්මෙ හොදේ. 

කොහොම වුණත් මම තමයි බර්ගර් ඒකේ වැඩි කොටසකට වග කිව්වෙ, තඩ්ෂාජනී පීසා එක කන්න වේගෙන් පටන්ගෙන වේගය බාල කළා. ඒ නිසා ආපහු ඔෆීසියට ගේන්නත් භාගයක් ඉතිරිවුණා.

අද අපේ දහවල් ආහාරවේලෙනුත් ජීවිතේ නැතිවෙන්න තිබුණ සතෙකුගෙ ජීවිතය බේරෙනා කියලා අපි හිත සතුටු කර ගත්තා.. මම ඒකයි කිව්වෙ නිර්මාංශ ආහාර ගැනීම ගෞරවයට හේතුවක් විතරක් නෙමෙයි. තමන්ගෙ ශරීර සෞඛ්‍යට, පරිසර හිතකාමීබවට හා විලාසිතාවට වගේම අධ්‍යාත්මික සුවයටත් එකවගේ ගැලපෙනවා කියලා. 

එහෙනම් අදට අපි සමුගෙන යන්නෙ වී.ඔ.වී අවන්හලෙන්. 

www.vov.lk එකට ඇවිත් අපි කියපු දේවල්වල තවත් විස්තර දැනගන්න පුළුවන්.

ඇවිත් කාලා අපි ලියපුවා ගැනත් කමෙන්ට් දැම්මට තරහා නැහැ. සතුටින් ඉන්න. නිර්මාංශ ආහාරවේලක සතුට ඔබේ ජීවිතය නිරෝගී යහපත් ජීවිතයකට මං පාදා තිබෙන බව නොරහසක්. ජයවේවා! 

මම රමේෂ් වරල්ලෙගම 


by

Tags: