හෙළ බොජුන් හළ – ජය මාවත බත්තරමුල්ල – 1 කොටස

(

සොයන්නාට හම්බුවෙනවා කියලා කතාවක් තියෙනවා නේ. ඔන්න අපි ඔයලා දන්න තැනක් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරියට කියන්න හිතාගෙන ඉන්නෙ. එතකොට Meatless Monday Sri Lanka අපිව සොයාගෙන එන අයට මේ වගේ හොද තැන් හමුවෙනවා ස්ථීරයි. 

අද අපි ආවේ බත්තරමුල්ල හෙළ බොජුන් හළට. මෙතනට එන විධිය කියන්නම්. බත්තරමුල්ල මංසන්ධියේ සිට කොළඹ පැත්තට එහෙම නැත්නම් බොරැල්ල පැත්තට එනකොට සෙත්සිරිපාය ප්‍රධාන පිවිසුම ටිකක් පහුවෙනවත් එක්කම ජය මාවත කියලා මාවතක් තියෙනවා. 

අන්න ඒ මාවත දිගේ මීටර් 100-150 එනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවත්වාගෙනයන හෙළ බොජුන් හළ ඔයාලට පේනවා. සුරම්‍යා මට කලින්ම ආවා. මමත් ඇවිත් සුරම්‍ය එක්ක මුලින්ම කළේ වටපිටාව ගැන මුලින්ම ඇහැ දාපු එක. දීර්ඝව දවස් ගණනක් බත්තරමුල්ල හෙළ බොජුන් හළ ගැන විස්තර කියන බලාපොරොත්තුව එක්ක. 

වීගන් කියලා විශාල ප්‍රසිද්ධියක් මෙතන නැතිවුණාට ඇත්තටම සියයට සියයක් නිර්මාංශ ආහාර රස කැවිලි සහ විවිධ පානයන් මෙම ස්ථානයෙන් ලබා ගන්න ඔබට පුළුවන්. මේ හැම ආහාරයක්ම සමහරවිට කොළඹට නුහුරු ගමට අවේනික කෑම වර්ග. ඒ නිසා ගමේ කෑම කන්න කැමැති අයටත් මෙතන ඊවුම් පිහුම් වෙන හැටිත් බලාගෙන උණු උණුවේ රස විදින්න හැකියාව තියෙනවා.

මේ තැනට එනකොට දැනගන්න උවමනා අනෙක් කාරණාව තමයි පේදුරුතුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුව වෙනකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදුන්වලා දුන්න හෙළ බොජුන් හළවල් තියෙනවා කියන කාරණය. අපි සෑම උත්සාහයක්ම ගන්නවා Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට මේ හැමතැනටම හැකි කාල වකවානුවක් තුළ ගිහිං එකිනෙකට වෙනස් විස්තර ඔයාලට කියන්න. 

බත්තරමුල්ල හෙළ බොජුන් හළ සතියේ දිනවල උදෑසන 7 සිට සවස 4 දක්වා විවෘතව පවතියි.  මෙහි අවට පරිසරය කුරුල්ලන් ගැවසෙන සුන්දර පරිසරයකින් යුක්තය. එය ආහාර වේලක් ගැනීමේදී හිතට දැනෙන මානසික නිදහස ද උදාකරනු නියතය.

හැබැයි ඔන්න වායුසමීකරණ සවි කරලා නෑ. හැබෑවටම තියෙන්නෙ ස්වභාවික වාතාශ්‍රය පමණයි. සුරම්‍ය තවත් දෙයක් මතක් කළා. ඒ මෙම ස්ථානය මුළුමනින්ම පවත්වාගෙන යන්නෙ කාන්තාවන් විසින් පමණයි. ආහාරවල ගුණාත්මක භාවය වගේම දැරිය හැකි සාධාරණ මිල ගණන් ඔබව විශ්මයට පත් කරනවාට සැක නැහැ.

හෙළ බොජුන් හළ බත්තරමුල්ලෙ ආරම්භවෙලා දැනට වසර පහක කාලයක් ගතවෙනවා.  සහල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් මෙම ස්ථානයෙන් මිලට ගත හැකියි. ආප්ප, ඉදිආප්ප, පිට්ටු පමණක් නෙමෙයි හබල පෙති, තොසේ, වඩේ, කෙටි ආහරවර්ග, අතුරු පස, රසකැවිලි මේ හැමදේම මෙතන තියෙනවා.

අපි අද ආපු වෙලාවේ ඉදන් බැලුවම වෙළෙන්දන් 17 දෙනෙක් පමණ විවිධ ආහාරවර්ග ඔබට ලිපෙන් බාන ඇසිල්ලෙන් දෙන්න සුදානමින් සිටියහ.

ගස්ලබු යුෂ පානය (රු.50)

ඉතාමත් නැවුම් ගස්ලබු යුෂ පානයක් මම මෙම ස්ථානයෙන් මිලට ගත්තේ රුපියල් 50 වැනි මුදලකටය. වෙළදපොළ වටිනාකම් අනුව ගත් කල මිලෙන් අඩු ගුණෙන් වැඩි මෙවැනි පානයක ඇති වටිනාකම අලුතින් කිය යුතු නැත.

දිවුල් පානය (රු.50) 

සුරම්‍යාගේ තේරීම වුයේ දිවුල් පානයයි. එයත් ඉතා රසවත් බව සුරම්‍යා දිවුල් පානය රස විදින ගමන් කීවාය.

ඉදිඅආප්ප, ව්‍යාංජන සහ වඩේ ( රු.70)

මගේ ආහාරවේලට මම තෝරාගත්තේ ඉදිආප්ප සහ ව්‍යංජනයකි. එම ව්‍යංනයද සුවිශේෂි එකකි. කෙහෙල්මුව සහ පරිප්පු මිශ්‍ර ඉතා රසවත් ව්‍යංජනයක් මා හට පිරිනැමිණි. එය වඩා රසවත් කර ගැනීමට පොල් සම්බෝල හැදි කිහිපයකුත් පිගානට එක්වුයේය. තවත් විශේෂත්වයක් කර ගැනීමට රුපියල් 20 ක මුදලකට මම වඩේ එකක්ද මිලට ගත්තේය.

පොල් රොටි ( රු.30)

සුරම්‍යා ඇණවුම් කළේ පොල් රොටිය. මේ පොල් රොටිවල පොල් පමණක් නොව මුකුණුවැන්න සහ කැරට් ද දමා තිබේ. 

පොලොස් කට්ලට් ( රු.25)

පොලොස් දමා හැදු මෙම කට්ලට් ඇසුරුම කඩල පිටි වලිනි. ඒ සදහා බිත්තර සාරුව ගා ගන්නේ වත් නැති බවට තහවුරුවකි. ඒ නිසා වීගන් ආහාර ගන්නා අයට කිසිදු බියක් විය යුතු නැත. 

සුරම්‍ය කුරක්කන් තොසෙ ඉල්ලා සිටියද වෙළදාමේ නිරත කාන්තාව මදක් හෝ උණුසුම් නොවු ඉතිරිව ඇති තොසේ දීම ප්‍රතික්ෂේප කළාය. ඒ අනුව ගත්කළ නැවුම් ආහාර නිරන්තරයෙන් ලබාදීමේ අරමුණක්ද හෙළ බොජුන් හළේ තිබේ. 

කා බී වටවිට බලමින් සිටින විට මට නම් තෙලේ බැදෙන පැණිවළල්ලක් නොකා බැරි විය. ඊට මම පාර හදා ගත්තේ බෙලිමල් එකක් බොමු යැයි යෝජනා කරමිනි. 

පැණි වළල්ලක්, බෙලි මල් වීදුරුවක් සහ හකුරු කැබැල්ලට වියදම්වන්නේ රුපියල් 40කි.  මේ සියලු ආහාරවල එකතුව ගත්තත් රුපියල් 300ක් පමණ දෙදෙනෙකුට හෙළ බොජුන් හළට ඇවිත් අතුරුපස සමග ආහාරවේලකට ප්‍රමාණවත්වය.

මේ වගේ හොද තැන් ගැන අපටත් කියන්න. අපි Meatless Monday Sri Lanka කණ්ඩායම සුදානමින් සිටින්නේ එවැනි තැන් සොයා යෑමටය. අදට සමුගන්නවා. නැවත හමුවන්නෙ මෙවැනිම වීගන් ආහාර වේලක් එක්ක. එතෙක් ඔබට සුබ හෙටක්! 


by

Tags: