හාපොස් වීගන් පීසා රස බලමු

දේශේ හැටියට වාසේ කියලා කතාවක් තියෙනවානේ. අපි මේ දවස්වල ඔෆිස් එන්නෙත් වට පිට බල බල. එහෙම එනකොට වෙනදා හිනා නොවුන අයත් මුණ බලලා හිනා වෙනවා. මේ කියන්නෙ යන්නෙ එහෙම හිනාවෙන හිනා නොවුන අය ගැන කතාවක්  නෙමෙයි.

මමයි සජානිටයි ඔයාලා වෙනුවෙන් Meatless Monday Sri Lanka Team එක විධියට ගෙන එන නිර්මාංශ ආහාරවල රස මිහිර ගේන වැඩසටහනත් මේ සිද්ධි නිසා ප්‍රමාද වුණා. දැන් ඉතිං සිද්ධිය මොකද්ද කියලා කල්පනා කරන්න එපා. ඒ හැමෝම ලංකාව ගැන මේ දවස්වල කතා කරන සිද්ධිය.

ඒ නිසා වෙනස් වෙනස් තැන්වල ගිහිං වාඩිවෙලා සප්පායන් වෙන්න තිබුණ කාලය ටිකක් විතර දුර වුණා. එහෙමෙයි කියලා හැමදාම එහෙම ඉන්න පුළුවන්ද ? සජානි මාසයක්ම සිංගප්පුරුවෙ ඉන්න නිසා ඔයාලට මේ නිර්මාංශ ආහාර රස මිහිර බෙදාගන්න  තියෙන කාලෙත් හරිම සීමිතයි.

ඒත් අපි මේ වැඩේ ආතාරින්නෙ නැහැ. ඒ නිසා ඔන්න අද නම් අපි පොඩි වෙනස් විදියෙ වැඩක් කරන්න හිතුවා. දැන් පැහැදිලියි නේ හාපොස් වීගන් පීසා ඔෆිස් එකටම ඇණවුම් වුණේ කොහොමද කියලා.

හැබැයි ඇත්ත කතාව කිව්වොත් මේ ඇණවුම කළේ අපේ ලොකුම තැනින් වොෂිතා. මාත් හිතුවෙ මේක නම් සජානිට විතරයි කියලා.  මේක සජානිට ද කියලා ඇහුවම වොෂිතා කිව්වෙ නෑ ඔයාලා දෙන්නටම කියලා.

හාපොස් වීගන් පීසා

හාපොස් පීසා නිවහනේ ප්‍රධාන තැන් කිහිපයක්ම කොළඹ අවට තියෙනවා. කොළඹ 01-15ටම, නාවල,දෙහිවල,කළුබෝවිල,නුගේගොඩ,මාදිවෙල, කළුබෝවිල,වැල්ලවත්ත,රාජගිරිය,ගල්කිස්ස, බත්තරමුල්ල, මේ අවට ඔන තැනකට හාපොස් පීසා ගෙන්න ගන්න පුළුවන්.  

අපි සහ ඔයාලා නිසාම හාපොස් පීසා මැදුරෙත් අපි වෙනුවෙන් නිර්මාංශ පීසා (Vegan) හදන්න අරගෙන තිබෙනවා. අපි අද කාලා බලලා රහ කියන්න යන්නෙ හාපොස් වීගන් පීසා ගැන.

උබර් ඊට් මල්ලි ගෙනාපු වීගන් පීසා එක උණු උණුවෙ සුවදකුත් එක්ක තමයි මගේ අතට ලැබුනෙ. මේක දැකපු මලින්ත ඇහුවෙ අයියා දැන් දවල්ට කන්නෙත් උබර් ඊට් එකෙන් පීසා ගෙනල්ලද කියලා. මලින්තත් මුලින්ම ප්‍රණීත සුවදට කැමැත්තෙන් කතා කළේ. හැබැයි මට මේක අරගෙන යන්න වුනේ සජානි ගාවට.

සජානිගෙ ප්‍රධාන ප්‍රශ්නෙ වුනේ අනිත් අයට දෙන්නෙ නැතිව ගෙනාවද කියලා. මම කිව්වා ඔව්. නැත්නම් ෆොටෝ ගහලා දාන්නෙ කොහොමද කියලා. සජානි බක බක ගාලා හිනාවෙන්න ගත්තා. ඇමෙන්ඩාට මේක හරි ජොලි කතාවක්. ඇමෙන්ඩා අපි දෙන්නා දිහා බලා ගෙන හිටියා.

පොඩ්ඩක් ඉන්න. අපි ඇමෙන්ඩත් මේකට හවුල් කරගන්නවා කියලා අපි කිව්වා. ඇමෙන්ඩා ලැජ්ජාවෙන් වගේ අපි දිහා බලාගෙන හිටියා.

දැන් ඔන්න අර සුවද පීසා එක විවෘත කළා. පෙනුමෙන්නම් දැකපු ගමන් හිත පිනායන බවක් මට නම් තිබුණෙ නැහැ. සජානි නම් කිව්වෙ ඒ ගැන මම කල් තියාම දැනගෙන උන්න කියලා.

හාකො හාකො කියලා අපි පීසාවල ෆොටෝ ගන්න වැඩේ විදුලිවෙගෙන් අවසන් කරලා රහ බලන්න ගත්තා.ඊට කලින් සජානි පීසා එකට ලැබුණ මොනවදෝ පැකට් දෙකක් අරගෙන පීසා ඒකේ උඩට හලන්න ගත්තා.

චිලි ප්ලෙක්ස්, ඔරිගානො . මේ දෙකින් චිලී ප්ලෙක්ස් හලන ගමන් සජානිට ඩෙනිස්ව මතක් වුණා. ඩෙනිස් සැර කාවිද දන්නෙ නෑ නේ. ඇමෙන්ඩා කිව්වා ඩෙනිස්ට එකක් අයින් කරලා චිලි ප්ලෙක්ස් දාන්න කියලා. ඔරිගානො  කියන්නෙත් ඉතාලියේ පීසාවලට කියැවෙන සූප ශාස්ත්‍රයට සම්බන්ධ ඔෂධීය පැලෑටි වර්ගයක් කියලා ඔරිගානො ගැන සජානි ඉතිහාස කතාවකුත් කියන්න පටන් ගත්තා.

පීසා එකෙ රොටිය වගේ කොටස ගොඩක් මහතට නැහැ. මගේ අදහස වුණේ ඒක තව පිම්බුණානම් කන්න ආස හිතෙනවා කියලා. හැබැයි හාපොස් පීසා දර පෝරණුවෙන් එන නිසා එකෙත් වටිනාකමක් තියෙනවා කියලා සජානි කිව්වා. කහ කොළ බෙල් පෙපර්, හතු ටිකක් විතර, ඔලිව්, වම්බටු, සුකීනි, තක්කාලි සෝස්,  මේවා තමයි දැනෙන්න තිබිබෙ. හැබැයි රස මදි කියලා මම ටිකක් විතර මුණ ඇඹුල් කරගත්තා. ඇමෙන්ඩටත් රස මදිවුණා. සජානිත් අපේ කතාවට එකග වුණා.

නමුත් බඩ පිරෙන්නවත් මේ පීසා එක හදන්න තිබුණා කියලයි මගේ අදහස තිබුණෙ. හැබැයි හැම පීසා එකම රහ වෙන්න ඔන නෑනේ. ගුණය අතින් ගත්තම වීගන් අපේ අයට නම් මේක ඉස්තරම් වටිනාකමක් ඇති. පීසා කැබලි හයක හාපොස් වීගන් පීසා එකේ මිල උබර් ඊට් එකෙන් ගෙන්න ගත්තම රුපියල් 1023.02යි.

අපි කියන්නෙ අපිට දැනෙන ඇත්තම දේ ඒ නිසා කවුරුත් හිත් අමනාප කරගන්න එපා හොදේ. ආයෙ දවසක අපි හාපොස් වීගන් පීසා කනවා නම් සජානි කරපු අන්තිම යෝජනාවත් එක්ක අදට සමුගෙන යනවා. ඒ තමයි මේකට වීගන් චීස් දාන්න කියමු. එතකොට මේ පීසා එක අපි හැමෝටම තවත් රසවත් පීසා එකක් වෙනවා නිසැකයි ! ජය !

රමේෂ් වරල්ලෙගම / සජානි කපුකොටුව


by

Tags: