වසංගතය අතරතුර පිටතින් ආහාර ඇණවුම් කිරීම – “රන්බත්” කාබනික ආහාර

මුළු පෘථිවියේම නිර්මාංශිකයින්ගේ තෝතැන්නක් විය හැකි එක් ස්ථානයක් තිබේ නම් එය ශ්‍රී ලංකාවයි. පුළුල් පරාසයක එළවළු, පළතුරු සහ කිරි විකල්ප වලින් ආශීර්වාද ලත් අපගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම්, ඇත්ත වශයෙන්ම 100%ක් ශාක පදනම් කරගෙන සිදු කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යංජන පිසීම සඳහා පොල් කිරි වැඩි වශයෙන් භාවිතා කරන අතර අපේ රසකැවිලි වලින් වැඩි ප්‍රමාණයක් ද පොල් ආශ්‍රයෙන් සකස් කරගනී. එසේම, සම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම සම්පුර්ණයෙන්ම කාබනික වන අතර ඒවා ඔරොත්තු දෙන සහ කාබනික ගොවිතැන් ක්‍රමයන්ට අනුකූලව සිදු කිරීම අපට ආශිර්වාදයක්ය. 

“රන්බත්” කාබනික අවන්හල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ පිහිටා තිබෙන අතර ආහාර බෙදා හැරීමේ යෙදුම් හරහා ද ආහාර ඇනවුම් කිරීමේ පහසුකම් සලසා දී ඇත. ඔවුන් කාබනික එළවළු සහ පලතුරු වලින් සාදන සෞඛ්‍ය සම්පන්න, නිර්මාංශ ආහාර වේලක් ඔබට ලබා දේ. එය නිර්මාංශ ලෙස ඔවුන් හැඳින්වුවද, පිරිනමන ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම වීගන් ආහාර වේ. උදෑසන ආහාරය සඳහා පෝෂ්‍යදායි මිශ්‍ර කොළ කැඳ සහ ඉඳිආප්පද, දිවා ආහාරය සඳහා බත් සමග ව්‍යංජනද අපි ඇණවුම් කළෙමු. පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ආහාර නෙළුම් කොළයක ඔතා කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තැබීම ගැන අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

කොළ කැඳ උණුසුම්, ඉතා රසවත් සහ ඖෂධීය ගුණයෙන් යුක්ත විය. පොල් සම්බෝලයක් සහ කිරි හොදි සමඟ ගෙන ආ කුරක්කන් ඉඳි ආප්ප අපගේ උදෑසන ආහාරය විය. මේ ආහාර ත්‍රිත්වයේ සංයෝජනය වඩාත් රසවත් වූ අතර අප එය සතුටින් රස වින්දෙමු. ඉඳි ආප්ප වියලි නොවූ අතර කිරි හොදිත් සමග ඉතාමත් ප්‍රනීත රසයක් ගෙන දුන්නේය. 

දිවා ආහාරය බත් සහ ව්‍යංජන කිහිපයකින් සමන්විත නෙලුම් කොලේ පිළිගන්වන ලද ආහාර වේලකි. රන්බත් අවන්හල පිළිගන්වන ආහාර වේලට තන්තු වලින් හා පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සම්ප්‍රදායික සහල් ප්‍රභේද භාවිතා කිරීම සුවිශේෂීත්වයකි. ඔවුන් බත් සමග ව්‍යංජන 5 ක් පිරිනමන අතර එයට බොහෝ විට ප්‍රියතම දේශීය එළවළු අන්තර්ගත කර තිබේ. අපට ගොටුකොළ මැල්ලුමක්, වම්බටු, ම‍ඤ්ඤොක්කා සහ අඹ ව්‍යංජනයක්ද, කොස් මැල්ලුමක්ද රස විඳීමට හැකි විය. ආහාර වල ප්‍රනීත බව කුළුබඩු මගින් තව තවත් වැඩි කිරීමට සමත් වී තිබිණ. ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දෙන බවට සහතික වන නිසාම ආහාර පිසීමේදී අධික ලෙස තෙල් භාවිතා නොකරයි. ඔබේ කැමැත්ත පරිදි බත් අඩුවෙන් සහ අමතර එළවලු ව්‍යංජනයක් ලබා ගැනීමේ විකල්පයක්ද ඔවුන් ලබාදේ.  

“රන්බත්” සතුව පුළුල් පරාසයක උදෑසන ආහාර, දිවා ආහාර සහ රාත්‍රී ආහාරද, නිර්මාංශ අතුරුපස, සාම්ප්‍රදායික රසකැවිලි කිහිපයක් සහ නැවුම් පලතුරු යුෂ ඇතුළත් පාන වර්ග කිහිපයක් ද තිබේ. මෙය ඇත්තෙන්ම සාම්ප්‍රදායික වීගන් ලාංකික ආහාර භුක්ති විඳීමට අපූරු ක්‍රමයකි.

මේ කෘෂිකර්මාන්තයෙන් පොහොසත් හා සරුසාර රටේ විවිධ වර්ගයේ එළවළු සහ පලතුරු භුක්ති විඳීමට ලැබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද භාග්‍යයකි. සොබාදහම විසින් වස විසෙන් තොරව කාබනික ලෙස අපට ලබා දෙන දේ උපයෝගී කරගනිමින් ඒ වටා ව්‍යාපාරයක් ගොඩ නඟා ගන්නා දේශීය අවන්හලක් දැකීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත් වෙමු. 

සෑම විටම මෙන්ම, Meatless Monday Sri Lanka කණ්ඩායම  ලෙස දේශීය ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වීම අපට සතුටට කරුණකි. සියලු දෙනාම ආරක්‍ෂිතව සිටින්න.

සටහන: සුරම්‍යා හෙට්ටිආරච්චි

පරිවර්තනය: චලනි මාරසිංහ 


by

Tags: