බ්ලැක් කැට් කළම්බො (BLACKCAT COLOMBO) කැෆේ


නිර්මාංශ ආහාර කෑම කන්න කැමැති ඔබව අද අපි තවත් අලුත් තැනකට කැදවාගෙන යනවා. බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) පිහිටා තියෙන්නෙ කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 ස්ථානයේයි. ඔබට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළාගාවීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ථානයේ විශේෂිත වෙන්න හේතු කිහිපයක්ම තිබෙනවා. නමුත් ඔවුන් හදුන්වන විධියට නම් විවාහක තරුණ යුවලකට නිදහසේ කෝපි කෝප්පයක රස බලන්න නැතිනම් සැන්විච් හෝ වෙනත් ආහාර වේලක රස බලන්න බ්ලැක් කැට් කැෆේ කදිම තැනකි.

Meatless Monday Sri Lanka අපේ කණ්ඩායමේ සජානිත් මමත් අද දවල් බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) වෙත පියනැගුවේ නිර්මාංශ ආහාර වේලක රස බලන ගමන් ඔබටත් ඒ ගැන කියන්න හිතාගෙනයි.

බ්ලැක් කැට් කළම්බො අපිව සාදරයෙන් පිළිගත්තා. දහවල් වෙලා නිසා සජානිගේ වැඩි උනන්දුව තිබුණෙ අහාර වට්ටොරුව දෙස බලමින් රසවත් නිර්මාංශ ආහාර වේලක් තෝරාගැනීමයි. ඇය දෙදෙනෙකුට සරිලන විධියට ඇණවුම ලබාදුන්නා.

• ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි

• ග්‍රිල් වෙජිටබල් සැලඩ්

• බෙරි යුෂ පානය

• අයිස් මොකා පානය

මේ හැම දේකටම අපට වැයවුනේ රුපියල් 3454ක් පමණයි. ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි (රු.1100),ග්‍රිල් වෙජිටබල් සැලඩ් (රු.990) බෙරි යුෂ පානය( රු.500) අයිස් මොකා පානය (රු.550)

අපේ ඇණවුම භාරගත් බ්ලැක් කැට් කළම්බො කැෆේ කාර්ය මණ්ඩලය අපෙන් ඉල්ලුවේ මිනිත්තු දහයක වගේ කාලයක්. ප්‍රමාදයකින් තොරව අපට ඇණවුම ලැබෙන බවට එතැන තිබුණ සහතිකය හරි වැදගත්. ඒ වෙනකම් අපට මේ පැරණි නමුත් නිදහස් පරිසරයක තැනුන නිවස අපුරු නිදහසක් නිර්මාණය කර තිබුණා. ඇත්තටම මිනිත්තු දහයක් යනවිට සීතල වතුර කොප්ප දෙකකුත් එක්ක බෙරියුෂ පානයයි, අයිස් මොකා පානයයි අප සිටි තැන හොයාගෙන ආවා. ඒවගේම සංග්‍රහශීලි පිරිනැමීම අපේ හිත ගිය තවත් තැනක්.

බෙරි යුෂ පානය

බෙරි යුෂ පානය ඉතා රසවත්. ඒ රසවත් බව වැඩිවෙන්න තවත් හේතුවක් වෙලා තිබුණෙ ස්වාභාවික බ්ලු බෙරි, බ්ලැක් බෙරි, රාප්ස් බෙරි යුෂ සමග කිරි වැඩි ප්‍රමාණයක් එහි අඩංගුවෙලා තිබුණ නිසයි. සජානිට නම් ටිකක් විතර බෙරි යුෂ පානයේ රසය ටිකක් තද වැඩියි. නමුත් මට නම් එහෙම දැනුනත් එහි රසයෙන් අඩුවක් දැනුනේ නැහැ. සීතල බෙරි යුෂ පානය මොහොතින් මොහොත මගේ පිපාසය නිවාලුවේ මටත් නොදැනිම. දවල්ට විතරක් නෙමෙයි මේ බෙරි යුෂ පානය සැන්දෑවක මොහොතින් මොහොත රස විදින්නත් කදිම පානයක් නේදැයි මටම හිතෙන්නට ගත්තා.

අයිස් මොකා පානය

සජානිගෙ හිත ගියේ අයිස් මොකා පානයට. සෝයා කිරි, කෝපි සහ චොකලට් සුළු ප්‍රමණයකින් සැදුම්ලත් මොකා පානය ඇත්තටම ඉතා ප්‍රණීත පානයක්. සජානි මට දුන්නෙ පොඩ්ඩක් බොන්න. ඒ වුණාට මම උගුරු කිහිපයකම රස බැලුවේ ඇත්තටම අයිස් මොකා පානයට ආසාවෙන් වගෙයි. දැන් කියන්න බලන්න මේකෙ තිබුණෙ සත්ත්ව කිරිද ? නැද්ද ? සජානි අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ සාමාන්‍ය සත්ත්ව කිරි තමයි මට නම් වෙනසක් දැනෙන්නෙ නැහැ කියලා. නෑ නෑ මේකෙ තියෙන්නෙ සෝයා කිරි. ඒත් ඔයාට දැනුනෙ නෑ කියන්නෙ. ඔන්න දැන් වීගන්ම වෙන්න පුළුවන් කියන එකයි සජානි සිනාසෙයි.

මේ කතාබහයනවිට අපට පිගන් දෙකක අපේ අහාර ඇණවුමත් ආවා.

• ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි

• ග්‍රිල් වෙජිටබල් සැලඩ්

ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි

ම්ම්ම්ම් මම බඩගින්න වැඩි නිසාද මන්දා ඉකමනින් රස බැලුවා. හ්ම්ම්ම්ම් මාර රහයි. දැන් කල්පනා කරන්නෙ මොනවද තිබුණෙ කියලද ?තරමක් මහත නුල්ඩ්ස්, චීස්, මස්රූම් (හතු) තමයි මේ ආහාරය රස ගැන්විලා තිබුණෙ. දැන් සජානිටත් ඔන්න රහ බලන්න දුන්නා. චීස් තියෙනවානේ. රමේෂ් ඔයාම කන්න මම වීගන්නෙ. සජානිගෙ උත්තරේ අනුව ක්‍රීම් මෂ්රුම් ස්පෙගටි පිගානම මට වෙන්වුණා. හැබැයි සජානිට ප්‍රශ්නයක්. මොනවද ඒ කොළපාට සෝස් එක. මටත් හිතාගන්න බැහැ. එතනට අපු සහයකයා අපට සෝස් එක ගැන නිවැරදි තොරතුරු දුන්නා. බැසිල් ඔයිල්. මට හිනා ගියා. සජානි ඇයි ඇහුවා. මම කිව්වෙ ඒ වෙන ඒකක් මතක් වෙලා කියලා. ඇත්තටම බඩ පිරෙන්නත් හිත පිරෙන්නත් ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි එක සෑහෙනවා. තරමක් ලුණු රහ කටට රහ වැඩිකර දැනෙනවා. සජානි නම් කියන්නෙ සිහින් කැබලි සහිත චීස් ක්‍රිම් මෂ්රුම් ස්පෙගටි යේ රස වැඩි කරන්නට ඇති කියලයි. එහෙම කියන ගමන් ඇය ඇය ඉදිරියේ තිබුණ ග්‍රිල් වෙඩිටබල් සැලඩ් ඒකේ රස බලන්නත් මට යෝජනා කළා.

ග්‍රිල් වෙජිටබල් සැලඩ්

ග්‍රිල් වෙජිටබල් සලාදය දැක්ක ගමන්ම හිත පිනායන පෙනුමක් තියෙන්නෙ. සජානිට නම් ඒක අල්ලලා ගියා. වම්බොටු, හතු, සලාද කොළ, තක්කාලි තවත් කිහිප වර්ගයක එළවලුවලින් මේ සලාදය පොහොසත්. හැබැයි මට නම් සජානිට තරමටම මේ සලාදය අල්ලලා ගියේ නෑ, එක්කො ලුණු මදි, බැදුන වම්බොටු කෑල්ලට එහා ගිය රහක් මට මේ ග්‍රිල් වෙජිටබල් ඒකේ තිබුණෙ නැහැ. සජානි කිව්වෙ ඒයාටත් මේකට නම් තව මිරිස් සැර ටිකක් වැටෙන්න තිබුණා කියලයි. ඒ නිසාම ඇය මිරිස් සැර සෝස් ඒකක් ගෙන්න ගත්තා. හ්ම් දැන් නම් රහයි සජානිත් රහ පදම් කරගත්තා. දැන් දෙන්නම රස ගැන කතා කරමින් බඩත් හිතත් පිරෙන්න කෑම කෑවා. ඇත්තටම මේ කෑම වට්ටෝරුව දෙන්නෙකුට ප්‍රමණවත්. ග්‍රිල් වෙජිටබල් සැලඩ් එකේ සලාද කොළ අඩුවෙලා විවිධ එළවලු ඊට එකතුවෙලා තිබුණ නම් හොදයි කියලයි සජානිගෙ අදහස. හැබැයි Meatless Monday Sri Lanka අපිත් එක්ක එකතුවෙන ඔයාලටත් බ්ලැක් කැට් කළම්බො කැෆේ අවොත් මේ අපි කිව්ව දේත් බලලා ගැලපෙන විධියටම අහාර ඇනවුම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට දැනුන රහ ඔයාලටත් දැනුනද බලන්නත් පුළුවන්. Meatless Monday Sri Lanka team එකට ඇත්තටම නම් ඔන වුනේ නිර්මාංශ ආහාර ගන්න ඔබට තිබෙන අවස්ථා ගැන දැනුවත් කරන්නයි.

අවසානයේ ටාකොස් කමුද කියලා සජානි මට යෝජනාවක් දැම්මා. මොකද කියන්නෙ ටාකොස් කන්න ඉඩ තියෙනවද ? සජානි ඇහුවෙ ඒහෙමයි. මමත් හා කිව්වා. සජානි ටාකොස් ගේන්න ගියාම අගහරුවාදා දවසට විතරක් බ්ලැක් කැට් කළම්බො කැෆේ දෙන වාසියකුත් අපට ලැබුණා.

ටාකොස්

බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) එකට ටාකොස් කන්න අගහරුවාදාට එනවානම් එක ටාකොස් එකකට ඔබට වැයවෙන්නෙ රුපියල් 250 විතරයි. සජානි ටාකොස් දෙකක්ම ඇනවුම් කළා. මේ ටාකොස් කියන්නෙ කාලා තියෙන අයටනම් හුරු පුරුදු කෑමක්. ඒත් නොකාපු අය ඉන්නවා නම් ඒක මෘදු රොටියක් මැදට නිර්මාංශ එළවළු හා ආහාර පමණක් දාන්න කියලා ඉල්ලලාම ඇනවුම් කරන්නත් පුළුවන් කෑමක්. සජානි ඇණවුම් කළේ ඔබටත් මටත් අපි හැමෝටම කන්න පුළුවන් විධියෙ නිර්මාංශ ටාකෝස්. තක්කාලි සල්සා, අන්නාසි, හැලපියනියොස්, සමග තක්කාලි සෝස් දාපු ටාකොස් එකක් මගේ අතේ ඒකට දීපු දෙහි බෑය මිරිකලා කෑම පටන් ගත්තම ෂා…… එහෙම රසක් දිව පිනා යනවා. සජානිගෙ අතේ තිබුණෙ බෝංචි වර්ගයක්, දම් ගෝවා, කොත්තමල්ලිකොල, හැලපියනියොස්, සහ කොච්චි සොස් දමාපු ටාකොස් එක. සජානිත් මට එයාගෙ ටාකොස් එකෙන් රහ බලන්න දුන්නා. ෂා . ඇත්තටම රහයි.

මාංශ ආහාරම සොයාගෙන යන්නෙ නැතිව ඔනෑම තැනක නිර්මාංශ ආහාරවේලක් රසවත්ව ලබා ගැනීමේ හැකියාව ඔබටත් තිබෙනවා. අපි අද Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට ඔන්න අපි ආපු තැනක අපි කාපු නිර්මාංශ අහාරවේලක රස ගැන ඔබට කිව්වා. බ්ලැක් කැට් කළම්බො කැෆේ (BLACKCAT COLOMBO) එනවා නම් සදුදා සහ අගහරුවාදා උදේ 8 ඉදන් රෑ 6 වෙනකම් ඒ වගේම බදාදා ඉදන් ඉරිදා වෙනකම් හැම දවසකම උදේ 8 ඉදන් රෑ 10 වෙනකම් ඔබට ඔබේ නිර්මාංශ ආහාරවේල ඇණවුම්කොට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

අපි දෙන්නා තවත් දවසක Meatless Monday Sri Lanka කණ්ඩායම වෙනුවෙන් අතේ ඇති මුදලට රසවත් නිර්මාංශ අහාර වේලක රස බලන්න අලුත් තැනකට ඔබව කැදවාගෙන යනවා. එහෙනම් අදට නවතිනවා. Bye !

රමේෂ් වරල්ලෙගම / සජානි කපුකොටුව


by

Tags: