ආකෙඩ් සහල් ගිහිං හත්මාලුව කෑවෙමි

#SahalSriLanka

වැස්ස දවසට කොච්චරනම් දේවල් හිතට දැනෙනවද ? ඒ අතර හීනියට එන බඩගින්න කොයිතරම් දුර යනවද ? බත් පිගානක් උනත් දැන් නම් කන්න පුළුවන් කියලා අර සමහර අවේලාවටත් හිතෙන්නෙ මේ වගේ වැස්ස දවසටද කොහෙද ? 

වැස්ස දවසට විතරක් නෙමෙයි වැස්ස නැති දවසටත් ඔයාලට නිර්මාංශ ආහාරවේලක රස විදින්න පුළුවන් තැනකට ඔන්න මම පොද වැස්සෙම ඇතුලුවෙනවා. 

වෙනදා වගේ අර ජෝඩු දාලා යන්න අද විධියක් ඇත්තෙම නෑ. මගේ අනිත් පලුව දුර රටකට ගිහිං. එහෙමෙයි කියලා ඉතිං නිර්මාංශ කෑම තියෙන තැන් හොයාගෙන යන ගමන නවත්වන්න පුළුවන් කමකුත් නෑ. 

ඔයාලට හොද ‌දේ ගුණ දේ රස දේ ගැන කියන්න මීට්ලම් මන්ඩේ ශ්‍රි ලංකා කණ්ඩායමේ සාමාජිකයො විධියට අපි සැදී පැහැදී ඉන්නවා. ඒ වග ඔයාලත් හොදටම දන්නවා. 

ඔන්න මම අද ආවේ කොළඹ හතේ අවන්හලකට. මම එහෙම කිව්වෙ මෙතන කෑම වගේම බීම ජාතිත්   ඇති තරම් තියෙන තැනක්. 

සහල් ශ්‍රි ලංකා අවන්හල ( Sahal Sri Lanka Restaurant) 

දන් ඉතිං සහල් ශ්‍රි ලංකා කියලා පටන් ගන්න කොටම මට කියන්න හිතෙන්නෙ මීට්ලස් මන්ඩේ ශ්‍රී ලංකා                 ( Meatless Monday Sri Lanka ) කියලා. මම දන්නවා ඔයාලා දැන් ආස කරන්නෙ මේ තැන ගැන දැනගන්න. මුලින්ම මම තියෙන තැන කියලා ඉන්නම්. සහල් ශ්‍රි ලංකා අවන්හල පිහිටලා තියෙන්නෙ නිදහස් චතුරශ්‍රය අසලම පිහිටි Arcade පරිශ්‍රය තුළ. හුගක් අය මෙතනට එන විදිය ලෙහෙසියෙන්ම දන්නවා. අර නිදහස් චතුරශ්‍රය ගාවට ගිහිං දාන්න මල්ලී කියලා ටුක් ටුක් එකකට කිව්වත් ටුක් ටුක් මල්ලි ටුක් ගාලා මෙතනට ගෙනත් ඇරලවයි. ඒ නිසා සහල් අවන්හල තියෙන තැන හොයාගන්න අමාරු නැහැ. බෞද්ධාලෝක මාවත දිගේ ආවත්, කුරුදුවත්ත පැත්තෙන් ආවත්, තුන්මුල්ල පැත්තෙන් ආවත්, නාරාහේන්පිට පැත්තෙන් ආවත්, නිදහස් චතුරශ්‍ර එකයි තියෙන්නෙ නිසා මෙතන වරදින්නේ නෑ. එතනට යාබදව Arcade එකට ආවම කඩවල් සාප්පු සංකීර්ණ ගොඩක් තියෙනවා.  සහල් අවන්හල කෝ කියලා ඇහුවත් නැත්නම් දන්නවා වගේ රවුමක් ගැහුවත් මෙතන එකපාරටම පේනවා. මම ගියෙත් ඔය කිව්ව විධියටම තමයි. පොද වැස්ස බඩගිනි වැඩි කරලයි තිබුණෙ.

විවෘත වේලාව – උදෑසන 11 සිට රාත්‍රි 11 දක්වා 

කැමති දවසක කැමති වෙලවාට බැහැ. ඒකටත් වෙලාවක් තියෙනවා. ඇරලා තියෙන වහලා තියෙන වෙලාවල් දැනගන්න නම් සහල් ශ්‍රි ලංකා ෆේස්බුක් පිටුවට ආවමත් හරි ලෙහෙසියෙන් බලා ගන්න පුළුවන්.

සහල් අවන්හලේ නිර්මාංශ ආහාර 

ඔන්න මම ඇතුල්වෙලා වටපිට බලලා වාඩිවුණා. අර මම කිව්වා වගේ කිසිම පලුවක් සහයට නැති නිසා තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතන කොටම මෙන්න මැදිවියේ තරුණයෙක් දුවගෙන ආවා. 

මම මොකුත්ම කියන්නෙ නැතිව කතාවටම අවතීර්ණ වුණා. පුතා මට වීගන් කෑම වේලක් දවල්ට කන්න පුළුවන්ද ඔයාලගෙන්. ? මෙන්න මේ වේටර් තැන අහපි සර්, වීගන් ඒ මොනවද ? කියලා. පුතා මෙතනට අලුතෙන්ද ආවේ. ? ඔව් සර්. මම පොඩ්ඩක් චෙෆ්ව එක්කගෙන එන්නද ? හරි ඒක හොදටම හොදයි. මමත් එකග වුණා.

වීගන් කිව්වම දන්නෙ නැද්ද අනේ කියලා දැන් කල්පනා කරන්න එපා. දැන්නෙ නැති අය ඉන්නවනෙ අනේ කියලා මම අපේ වේටර් මලයටත් ජංගම ටියුෂමක් දා ගත්තා. ඉතිං මේ වෙටර් තැන මට අනේක වාරයක් පිං දෙන්න ගත්තා. 

ඔය තරෙ තමයි අර චෙෆ් මෙතනට ආවේ. සර් මම සර්ට උදව් වෙන්නම් කිව්වා. ඇත්තටම පළමු පියවරේ සිටම ඔවුන්ගෙ පිළිගැනීම නම් උපරිම තත්ත්වයේ තිබුණා.

අපේ වේටර් මහත්මයා අසාර් ඛාන්. මම සහෘද කමට එයාට කිව්වෙ ඛාන් සහෝදරයා කියලා. චෙෆ් තැන නලීන් ජයසුරිය. නම අමතකවෙනවා නම් ඔන්න ජයසුරිය කියලා මතක තියාගන්න කියලා එතුමාම කිව්වා. සර්ට උවමනා වීගන් ආහාර වේල මම සකසා දෙන්නම් ඔහු දෙවරක් නොසිතා කිව්වා. මගේ ඉහේ මල් පිපුණා. කෑමටත් කලින් දිවිය ඖෂධයක් ලැබුණා වගේ හිතලා. හිතලා නෙමෙයි ඇත්තටම ලැබුණා.

සුප් (Soup)

සහල් අවන්හලේ කෑම වට්ටෝරුව පටන් ගන්නෙම කොළ කැද සුප් එකකින්. ඒක හරි ලස්සනට කෑම වට්ටෝරුවෙත් දාලා තියෙනවා. ලස්සන විතරක් නෙමෙයි මිලත් සාධාරණයි රුපියල් 260කට කොළ කැද සුප් එකක් බොන්න පුළුවන්. මම ජයසුරිය මහත්තයට කිව්වා. අද නම් මට සුප් බොන්න බෑ. ඒ නිසා මට දවල් කෑමම ගන්න උවමනායි කියලා. 

බත් (Rice)

මම දවල්ට කන්න කැමැති කෑම බත්. සහල් අවන්හලේ දවල්ට නිර්මාංශ කෑම වේලට එතුමාලම මට උසිගැන්වුයේත් බත් කන්න. මෙතන ගොඩාක් ගොඩාක් කෑම වට්ටොරු තෝරන්න තිබුණෙ නැහැ. නමුත් නිර්මාංශ අයෙකුට වීගන් කියලා බඩ පිරෙන්න බත් කන්න ඉතිරි මාලුපිනි, ඒහෙමත් නැත්නම් හොදිවර්ග නිර්මාංශ අහාරයක් ලෙස ලබා ගැනීමේ හැකියාව මෙතන තියෙනවා. හැබැයි බත් වේලක් නම් රුපියල් 300.00 තරම් ඉතා අඩු මුදලකට මෙතන ඇනවුම් කරන්න පුළුවන්. මම ඇණවුම් කළා. මිනිත්තු 10-15 යද්දි මගේ බත් ඇනවුම තවත් අඩුම කුඩුම එක්ක මේසෙට ගෙනත් තිව්වෙ ඛාන් වේටර්තුමා.

බත්වලට අමතරව, හොද කොළ මැල්ලුමක්, කිරට උයපු බෝංචි, වට්ටක්කා හොදි,පරිප්පු සහ කෙහෙල්මුව මිරිසට වගේ හදලා තිබුණා.පපඩම් දෙකකුයි මිරිස් කරලකුත් තිබුණා. තව පොඩ්ඩෙන්  ඒක අමතක වෙනවා.

හොදි වර්ග (Curry)

කෑම වට්ටෝරුවේ වෙනම පිටුවක් නිර්මාංශ හොදි වර්ග වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මෙතන හැබැයි නිර්මාංශ කියලා දාලා තිබුණේ වෙජිටේරියන් කියන අදහසින්. මම මේ ගැන චෙෆ්ගෙන් ඇහුවමජයසුරිය මහත්මයා ඔවුන්ගේ අවහන්හලේ වීගන් කෑම හැදෙන හැටි ගැන ඒවායේ ප්‍රමිතිය ගැනත් මට කිව්වා.

කරත්ත කරිය 

සහල් අවන්හලට අනන්‍ය වුණ හොදි දීසියක්. මේක නිර්මාංශ හා මාංශ සහිතව දෙවිදියකට හැදෙන හොදි දීසියක්ත ගැල් කරුවන්ගේ ජනප්‍රිය හොදි වර්ගයක් කොළඹ 07ට ඇවිත් රස විදිනවා වගේ හැගීමක් මට කිව්වේ. රුපියල් 780.00 හැබැයි මම ඒ ගැන අදහස අත්හැරියා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. හත් මාලුව හමුවුණ නිසා. 

හත් මාලුව 

අන්න ඒ නිසා තමයි කරත්ත කරිය අතහැරියෙ. හත් මාලුව රු. 700.00 මම ඇණවුම් කරා මේ ගමන්ම ඔන්න මම කන්න පටන් ගන්නවා. චෙෆ් කිව්වා වගේම හත් මාලුව පංකාදුයි. එකට දමපු මාලු (එළවළු) හත්වවර්ගය මට එකින් එක චෙෆ් පැහැදිලි කළා. ඒත් මම වැඩි තැනක් දුන්නෙ ඒකේ රස බලන්න. අනිත් ඔක්කොම හොදි වර්ගය අභිබවා යමින් හත් මාලුව තමයි මගේ දවසේ කප් එක ගැහුවේ.

දැන් තියෙන්නෙ කතාව නවත්වලා හොදට රස විදලා කෑම කන්න. ඇත්තටම සහල් අවන්හල නිස්කලංක තැනක් දවාලට. රෑට කොහොමද දන්නෙ නැහැ. නමුත් තමන්ගෙ නිදහසේ කෑම වේලක් කන්න අපූූරු තැන. ඔන්න මම කෑම කනවා. වෙනදාට අපි එක්ක එකතුවුණ යාලුවො හැමෝමත් මතක් කර කරා මම හොදට සප්පායම් වුණා.

අතුරුපස (Dessert )

  • කිතුල් තලප  

මෙහෙම අතුරුපසක් ගැන ගමේ ඉපදුන මමත් ඇහුවේ අදමයි. හැබැයි කිතුල්වලින් හදන විවිධ කෑම වට්ටෝරු අතරේ අපේගමේ නැතත් වෙත් ගම්මානයක මේක ඉතා ජනප්‍රිය කෑමක් වෙන්නත් පුළුවන්. කිතුල් තලප අතුරුපසක මිල රුපියල් 500.00 යි. බඩ නම් හොදටම පිරිලා. ඒත් මීට්ලස් මන්ඩේ කණ්ඩායම විධියට මේවායේ රහත් කියන්න උවමනායි නේ. මේ කිතුල් තලප අතරුපස ටිකක් තද ගතියක් දැනෙනවා. හැබැයි කන්න තියෙන්නෙ පැණි සහ පොල් කිරි එක්ක. මමත් අත්හදා බැලුවා. නරක නෑ. හැබැයි මට අල්ලලා ගියේ නෑ, ඒ මොකද කියන්න මම දන්නෙ නෑ හෝදේ. හැබැයි.මේ අතුරුපස එක නිර්මාංශ ගුණය වඩාත් තහවුරු කළ එකක් බවට නම් කිසිම විවාදයක් නැහැ. පොල් කිරි වලින් හදන අතුරුපස කිහිපයකුත් මෙතන තියෙනවා. ඒ උවමනා විධියට මෙතන ඔයාගේ ඉල්ලීමට සැපයුමත් තියෙනවා.

ඉතිං ඔන්න සහල් අවන්හලේ ඛාන් වේටර්තුමාට, ජයසුරීය චෙෆ් මහත්මයට අපි ආයුබෝවන් කියලා එන්න හැරුණා. ඔයාලට අයේත් කියන්නෙ අපි මේ අවන්හලට ගියා විතරක් නෙමෙයි. වීගන් ඉල්ලන අය එනවා.ඒ අයට ඔයාලගේ උපරිම සත්කාරය දෙන්න කියලත් මීට්ලස් මන්ඩේ ශ්‍රි ලංකා කණ්ඩායම              (Meatless Monday Sri Lanka) විධියට මම සහල් අවන්හලෙන් ඉල්ලීමක් කළා. උක්ත ආඛ්‍යාත ගලපලා කිව්වොත් මම ඉල්ලීමක් කළෙමි. එහෙනම් ඉතිං ඔයාලත් ගිහිං බලන්න. ඇත්තටම අතේ තියෙන මුදලට හිතේ හැටියට කාලා එන්න පුළුවන් තැනක්. අර ඛාන් වේටර්තුමා හරි ජයසූරිය චෙෆ් මහත්මයා හරි මුණගැහුණොත් මාව මතක් කළා කියන්න. එතකොට තව රසවෙයි. 

සහල් අවන්හලේ දුරකථන අංකය – 0764343032

ෆේස්බුක් පිටුව – https://www.facebook.com/Sahal.Restaurant/

එහෙනම් අදට ගිහිං එන්නම්. නිර්මාශ ඔබට ජයවේවා! 

මම රමේෂ් වරල්ලෙගම 


by

Tags: