The Vegan හදලා වීගන් රහට හිත් යා කරන අපේ ඉංජිනේරුවා

වෙජිටේරියන් සහ වීගන් අතර වෙනස දන්නෙ කීයෙන් කී දෙනාද ? මස් මාලු විතරක් නෙමෙයි කිරි බිත්තරවත් අනුභව නොකර මුළුමනින්ම ශාක ජනක ආහාර පරිභෝජනය කරන ජන කොට්ටාශයක් ඉන්නවා ඒ වීගන් අය. මේ වීගන් කියන දේ අපට තවමත් නුහුරු වුණාට ලෝකයේ බොහෝ රටවල වීගන් කියන තේමාව අද ජනප්‍රිය තේමාවක්. ඇත්තටම වීගන් වීමෙන් ඔබට ලැබෙන්නෙ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් විතරක්ම නෙමෙයි. ඔබ වීගන් වීමෙන් ලොවට පරාර්ථකාමී අර්ථවත් මිනිසකු බව හඩගා කියනවා. ඒ නිසාම සතුන් පමණක් නොවෙයි ගහකොල පවා රැකෙනවා. දේශගුණික විපර්යාස බලපෑම අවම කරන්න දායක වෙනවා. මේ හැමදේම තිබුණත් වීගන් වෙන එකත් ලෙහෙසි වැඩක් නෙවෙයි කියලා ඇතමෙක් කලින් කල්පනා කරන්නට ඇති. නමුත් වීගන් අවන්හල් දොරෙන් දොරට යාවෙනකොට අපටත් වීගන් රහ බලන්න ඒ රහ එක්ක ජීවත්වෙන්න අවස්ථාව උදාවෙනවා. නවෝද් කවින්ක පයාගල කිය්නෙ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. හැබැයි මේ තරුණයා අනෙක් අයට වඩා වෙනස් විධියට හිතන තරුණයෙක්. පුංචිකාලේ වීගන් නොවුන කවින්ක බොරලැස්ගමුව, කොළඹ හොරණ පාරේ රත්තනපිටිය 117/බී /1 ස්,ථානයේ The Vegan අවන්හල විවෘත කළේ පසුගිය පොහොය දිනයෙදියි. Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට අප ඔහුව මෙසේ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්කරගනු The Vegan  ගැන තවත් බොහෝ දේ දැනගන්න. ඒ විතරක් නෙමෙයි රටට ලෝකෙට ආදර්ශයක්වන මෙවැනි අදහස් තවත් ප්‍රචලිත කිරීමේ අදහසින්.

කවින්ක කොහොමද ජීවිතේ ?

ඉතාමත් හොදින් ඉන්නවා. මේ දවස්වල වැඩිපුර කාර්ය බහුල වුණා රැකියාව මෙන්ම අපේ The Vegan අවන්හලේ කාර්යන්ට සම්බන්ධවීමට සිදුවුණ නිසා.

පුංචි කාලෙ වීගන් නොවුන ඔබ වීගන් වුණ හැටි කැමතියි දැනගන්න ?

ඔබ කිව්වා හරි මම කුඩා කාලයේ වීගන් ආහාරයට ගත්ත කෙනෙක් නෙමෙයි. මම වෙජිටේරියන් වෙලා පසුව වීගන් වුණ කෙනෙක්. පාසල් යන කාලයේ ඉදන් බල්ලො පුසන්ට අදාරය කළා. සාමාන්‍යපෙළ කරන කාලෙ වෙනකොට හරක් මරණ එකට කැමැති නැහැ. හරක් මස් කනවට විරුද්ධයි. හැබැයි තර්කයක් අනුවයි මම මස් මාලු හා කිරි බිත්තරවලින් පවා ඉවත්වෙලා වීගන් ආහාර රටාවකට හුරුවෙන්නෙ.

කොළඹ රාජකීය විද්‍යාලයේදිද මෙම අදහස ඔබට වැටහුණෙ ?

පාසල් කාලයේ ඉදන් මම අර කිව්ව අදහස්වල මම හිටියා. හැබැයි මම තාර්කිකව හිතන්න ගත්තා මොකද්ද නිවැරදි දේ කියලා. ඇත්තටම පව පින අනුව හිතලා නෙමෙයි මම වීගන්‌ වෙන්නෙ. තර්කයක් තියෙනවා නේ අනුන් මරණ මස් අපි කෑවට කමක් නෑ අපි නෙමෙයි මරන්නෙ කියලා. හැබැයි අපි කණ නිසා තමයි ඒ ඉල්ලුමට හරියන්න සතුන් මැරෙන්නෙ. අපි කිරි බොන නිසා තමයි ඒ සතුන්ගෙ කිරි ගන්න වෙළදාම ඉහළට එන්නෙ. ඒ තත්ත්වයයි මග හරින්න උවමනා වුණේ.

වීගන් වලට වඩා සමාජයේ බැලු බැල්මටම ඉල්ලුම තියෙන්නෙ මාංශ ආහාරවලට ඔබ පටන් ගන්නෙ එවැනි ව්‍යාපාරයක් ?

ඇත්තටම මට මෙතන වැදගත් වුණේ තේමාව. වීගන් පාරිභෝගිකයන්ට ඇවිත් වීගන් අවන්හලක තමන් කැමැති නිදහසේ ඉදලා ආහාරවේලක් අරගෙන යනවා නම් අර මගේ තියෙන තේමාවට ඒක ගැලපෙනවා. ඒකට මම කැමැතියි. මට අපේ ආයතනයේ සාමාජිකයෙක් කිව්වා සර් යුවලක් ඇවිල්ලා පැය ගාණක් හිටියා හැබැයි බ්ලැක් කොෆි දෙකක් විතරයි බිව්වෙ කියලා. මම කිව්වා කමක් නෑ මොන තරම් වෙලා හිටියත්. අපට අවශ්‍යය වෙන්නෙ මේ වීගන් පණිවුඩය රටටත් ලෝකයටත් ගෙනයාම කියලා. ඒ නිසා ලාභයම නෙමෙයි මගේ අරමුණ. මට ජීවත්වෙන්න රැකියාවක් තියෙනවා.

වීගන් අවන්හලක් පටන් ගන්නවා කිව්වම අනෙක් අවන්හලකට වඩා අභියෝග ගණනාවක් එනවා ?

ඔව් ඇත්ත. මාත් එක්ක මේ වැඩේ කරන්න එකතුවුණේ මගේ මල්ලි විනෝද් නවින්ක පයාගල, ඔහු වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්. ලක්ෂාන් බුද්ධික මගේ මිතුරා ඔහුත් ඉංජිනේරුවරයෙක්. නිශාන් අනුරුද්ධ මගේ පාසල් මිතුරා. මේ අයගෙත් විශේෂත්වය තමය් ඔවුන් එක්කො වෙජිටේරියන් නැතිනම් වීගන් වීම. මගේ අරමුණට මේ වැඩේට සම්බන්ධවුණ පිරිසත් ගැලපුණේ එහෙමයි. අම්මත් ඇවිත් උදව් කළා මුල ඉදන්ම මේ වෙලාවේ ඇයත් මතක් කළ යුතුමයි.අනෙක් කාරණය සාමන්‍ය බටර් එකකට වඩා වීගන් බටර් එකක මිල දෙගුණයකටත් වැඩියි. අනෙක් හැම අමුද්‍රව්‍යක්මත් සාමාන්‍ය දේට වඩා කිහිප ගුණයකින් මිලෙන් අධිකයි. හැබැයි. ඒ අභියෝග භාරගෙන වීගන් රසිකයන් වෙනුවෙන් කටට රහට ආහාර නිර්මාණය කරන්න මගේ පාසල් මිතුරා නිශාන් විශාල වෙහෙසක් ගන්නවා. මිලත් සාධාරණයි. 

දැන් The Vegan අවන්හලට ඇවිත්  රහට කන්නයි හිතෙන්නෙ ?

සිනාසෙයි. අපි බර්ගර් සහ සම්මැරීන් විවිධ වර්ගවලින් දැනට ලබා දෙනවා. බර්ගර් සම්මැරීන් විතරක් නෙමෙයි අප වීගන් ඩ්‍රින්ක්ස් හදුන්වලා දෙනවා. කිරල, කැරට්, වගේ අලුත් හදුන්වාදීම්, ඒ වගේම සියලුම පළතුරුවර්ගවල බීම වර්ග අපේ අවන්හලට ඇවිත් ලබාගන්න පුළුවන්. දැනට පටන් ගත්ත විතරයි. තව බොහෝ දුර යන්න තියෙනවා. අලුත් අලුත් වීගන් කෑම අපේ The Vegan පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දෙන්නයි අපේ වෑයම.

ඔන්න එහෙනම් කවින්ක ඇතුළු The Vegan කණ්ඩායමට Meatless Monday Sri Lanka කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්. බොරලැස්ගමුව පැත්තෙන් යන එන ගමන් The Vegan අවන්හලට ගිහිං බලන්න. වීගන් තාරුණ්‍යය එක්ක කෑම වේලක රස බලන්න. උදේ 10 ඉදන් රෑ 10 වෙනකම් විවෘතව තියෙනවා. විස්තර උවමනා නම් 0113640470 දැනගන්න පුළුවන්.අපේ යහළුවන්ටත් මේ පණිවුඩය හුවමාරු කරන්න. ජය ! 

රමේෂ් වරල්ලෙගම /සජානි කපුකොටුව Meatless Monday Sri Lanka


Posted

in

by

Tags: