ලෝක වීගන් දිනය 2020

තිරසාර අනාගතයක් උදෙසා සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර 

ලොව පුරා වීගන් ජීවන රටාවකට යොමු වුන සහ ඒ සඳහා ඇල්මක් දක්වන පුද්ගලයන් විසින්  මෙම වසරේදීත් නොවැම්බර් මස පළමු දිනයේදී “ලෝක වීගන් දිනය” සමරන්නට යෙදුනා. මෙම දිනය සැමරීම තුලින් සමාජය තුල වීගන් ජීවන රටාව කෙරෙහි අභිප්‍රේරනයක් ඇති කිරීම මූලික වශයෙන් අපේක්ෂා කරන අතර එය නිරෝගී භාවය, සත්ව සුභසාධනය සහ පරිසරය සුරැකීම යන සියලු ප්‍රතිලාභ වලින් සමන්විතයි. වර්තමානය වන විට මුළුමහත් ලෝකයම දරුණු වසංගතයකට මුහුණ පාමින් සිටින අවධියක් ගත කරමින් සිටින අතර තිරසාර අනාගතයක අවශ්‍යතාවය සහ වැදගත්කම වඩාත් ඉස්මතු වී ඇත. “තිරසාර අනාගතයක් උදෙසා සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර තේරීම්” යන කාලීන තේමාව යටතේ Meatless  Monday කණ්ඩායම මෙවර ලෝක වීගන් දිනය සමරන්නට යෙදුනි.

  • සත්ව හිංසනයෙන් තොර ආහාර තේරීම්   

“වීගන්” යන සංකල්පය මගින් සත්ව හිංසනයෙන් තොර ජීවන රටාවක් ගත කිරීම යන්න සරලව අදහස් කරයි. ආහාර නිෂ්පාදන කරමාන්තය තුලින් සත්ව හිංසනයට ඉහල බලපෑමක් ඇති හෙයින් වීගන් ජීවන රටාව තුල ආහාර කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. මෙහිදී සත්ව හිංසනයෙන් තොර ආහාර තේරීම් එසේ නැත්නම් ආහාර විකල්ප පිළිබඳව ලෝකය තුල විශාල කතිකාවක් නිර්මාණය වී ඇත. වැඩි රසයක්, පෝෂණයක් සහ විවිධාංගීකරණයක් සහිත ශාක මත පදනම් වූ ආහාර වට්ටෝරු හඳුන්වාදීම සහ සාධාරණ මිල ගණන් යටතේ සුලබ කිරීම තුලින් වඩාත් පහසුවෙන් මෙම ඉලක්කය ලඟා කරගත හැකිය. වීගන් ආහාර රසයෙන් සහ පෝෂණයෙන් අඩු බවට සමාජය තුල පවතින මතය වෙනස් කිරීමට නවමු වීගන් ආහාර විකල්ප හේතු වේ. එමගින් වීගන් ආහාර සහ මාංශ මත පදනම් වූ ආහාර අතර ඇති එකම වෙනස්කම, එතුලින් කිසිඳු සත්වයෙකුට හිංසනයක් නොවීම බව අවබෝධ විය යුතුය. එමගින්  අවසානයේදී පරිසරය සහ මිනිසා යන අංග දෙකටම සමසේ තම පැවැත්ම තහවුරු කරගත හැකි තිරසාර පරිභෝජන රටාවක් නිර්මාණය වේ. 

  • දේශගුණික හිතකාමී ආහාර තේරීම්

සත්ව මාංශ හා බැඳුන ආහාර කර්මාන්තය තුලින් ඇති කරන දරුණු සත්ව හිංසනයට අමතරව එතුලින් දේශගුණික විපර්යාස කෙරෙහි ඇති කරන බලපෑම අතිමහත්ය. සත්ව පාලනය තුලින් ඉතා විශාල හරිත වායු විමෝචනයක් ඇති කරන අතර එය දේශගුණික විපර්යාස ඇති කිරීමට විශාල වශයෙන් දායක වේ. එමනිසා, සත්ව මාංශ මත පදනම් වූ ආහාර අධික පරිභෝජනය, සතුන්ගේ පැවැත්මට මෙන්ම මිනිසුන්ගේ පැවැත්මටද තර්ජනයකි. එසේනම් දේශගුණික හිතකාමී ආහාර තේරීම් අපගේ ජීවන රටාවට එකතු කරගැනීම, දේශගුණික විපර්යාස කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් තුලින් ඇතිකරන බලපෑම් අවම කිරීමෙහි ලා වැදගත් පියවරකි. දේශගුණික හිතකාමී ආහාර තේරීම් යටතට දේශීය සහ අවම ප්‍රවාහන දුරකින් ලබාගත හැකි නැවුම් ආහාර වලට යොමු වීම, ඇසුරුම් රහිත ආහාර වලට යොමු වීම, කාබනික එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගැනීම වැනි ඉතා සරල, අඩු පිරිවැයක් සහිත විකල්ප හඳුනාගත හැකිය. විදේශීය රටවල් මගින් ආනයනය කරන ලද ඇසුරුම් කරන ලද, රසායනික ද්‍රව්‍ය අන්තර්ගත, කල් ඉක්මවූ ආහාර ඔබේ සෞඛ්‍යයට, ආර්ථික තත්වයට මෙන්ම පරිසරයේ සුරක්ෂිතතාවයටද හිතකර නොවේ.   

සත්ව හිංසනයෙන් තොර සහ දේශගුණික හිතකාමී ආහාර තේරීම් පිළිබඳව සැලකීමේදී මේ දිනවල වඩාත් අවධානයට ලක් වුන ගෙවතු වගා ප්‍රවණතාවය, වීගන් ජීවන රටාව සමග වඩා සමීප සම්බන්ධතාවයක් දක්වයි. වස විස නොමැතිව, නිවසේ කාබනික අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිත කර කුඩා භූමි ප්‍රමාණයක වුවද තමාගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය එළවලු, පලතුරු සහ පලා වර්ග රෝපණය කර ස්වයංපෝෂිත පරිභෝජන රටාවකට හුරු වීම තුලින් අප සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී, පෝෂ්‍යදායී ආහාර රටාවකට නිතැතින්ම යොමු වනු ඇත. එය කුටුම්භය තුල ආර්ථිකමය ප්‍රතිලාභයක් ඇති කිරීමටද හේතු වනු ඇත. එසේම ශාක මත පදනම් වූ ආහාර හා සම්බන්ධ සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය තුලින් දේශීය වශයෙන් සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර විකල්ප නවෝත්පාදනය සහ ප්‍රචලිත කිරීම වීගන් ජීවන රටාවට යොමු වීම කෙරෙහි උත්ප්‍රේරකයක් සපයයි. අවසාන වශයෙන්, ලෝක වාසී සියලු දෙනා සත්ව හිංසනයෙන් තොර දේශගුණික හිතකාමී ජීවන රටාවකට යොමු වන තිරසාර අනාගතයක් උදා වේවා යන්න මේ වීගන් දිනයේදී Meatless  Monday අපගේ ප්‍රාර්ථනාවයි.  


Posted

in

by

Tags: