පාරිභොගික අයිතීන් ආරක්ෂා කෙරෙන පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය

කොළඹ ආහාර ප්‍රදර්ශනය 2017 සංවිධාන රැසක එකමුතුවෙන් පසුගිය දෙසැම්බර් 09 හා 10 දෙදින පැවැත්විණි.

තරුණ සහභාගිත්වය සහ නායකත්වය ව්‍යවසායකත්වයට යොමු කිරීමේ ක්‍රියාදාමයක් ලෙස පැවැති මෙම ප්‍රදර්ශනයට ව්‍යවසායකයන්,රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, දේශිය කණ්ඩායම්, එකමුතු කණ්ඩායම් ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

සාමය ගොඩනැගීම, සංහිදියාව, මානව හිමිකම් සදහා මුලපිරීම, තිරසාර සංවර්ධනයේ ඉලක්ක හදුනා ගැනීම මෙම ප්‍රදර්ශනය ඔස්සේ හදුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය හා එක්ව රෝඩ් ටු රයිට් සංවිධානය, එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මෙම මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

ස්ලයිකැන් භාරය මෙම ප්‍රදර්ශනයට එක්වෙමින් නිර්මාංශ සදුදා ශ්‍රි ලංකා ව්‍යාපාරය ඔස්සේ තිරසාර ජීවන ක්‍රමයක් වැඩිදියුණු කර ගැනීමේ හැකියාව පිළිබදව පුළුල් දැනුවත්කිරීමක් සිදු කළේය.

තිරසාර ජීවන ක්‍රමයකට හුරුවීම ඔස්සේ දේශගුණික විපර්යාස අවම කළ හැකි බව දැනුවත් කිරීම නිර්මාංශ සදුදා ශ්‍රි ලංකා ව්‍යාපාරය ප්‍රදර්ශනය තුළ සිදුකළ විශේෂ කාර්යයකි.

ස්ලයිකැන් භාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය තිරසාර සංවර්ධන ඉලක්ක මැයෙන් මෙම ප්‍රදර්ශනය අමතා කතා කළාය. ඉතා කල්පනාකාරීව පරිභෝජනය සකසා ගැනීම ඔස්සේ තිරසාර සංවර්ධනය ලගා කර ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.

“පරිසර හිතකාමි ලෙස පාරිභෝගික අයිතින් ආරක්ෂා කරමින් දේශගුණ විපර්යාසවලට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු කාර්යක්. නමුත් මනා අවබෝධයෙන් යුතුව අප සතු සම්පත් පරිසර හිතකාමි ලෙස තමන්ගේ පරිභෝජනය සදහා සෑහෙන ආකාරයට පරිභොජන කිරීමෙන් මෙම තත්ත්වය ඉතා හොදින් මුහුණදිය හැකිවෙනවා” ඇය සදහන් කළාය.

ස්ලයිකැන් භාරයේ කටයුතු පිළිබදවද මෙහිදී නීතිඥ වොසිතා විජේනායක මහත්මිය කරුණු පැහැදිලි කළාය. තරුණ සහභාගිත්වය පුළුල් කරමින් සිය සේවාවන් විවිධ සමාජ මට්ටම් සදහා පුළුල් කරන ස්ලයිකැන් භාරය සමාජ සාධාරණත්වය සහ සත්ත්ව සුබසාධනය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කටයුතු කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ගොවි ජනතාව කාබනික පොහොර භාවිතය පිළිබද දැනුවත් කරමින් ස්ලයිකැන් භාරය සිදුකළ කෘෂි ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් ගැන මෙහිදි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය සිහිපත් කළාය.

මාංශ පරිභෝජනය අවම කිරීම ඔස්සේ හරිතාගාර වායු විමෝචනයද අවම කළ හැකි බව නිර්මාංශ සදුදා ශ්‍රි ලංකා ව්‍යාපාරය විසින් මේ වනවිට හදුන්වා දී තිබේ.

අප අපගේ ආහාර රටාවන් වෙනස් කර ගන්නවා නම් පශු සම්පත් කර්මාන්ත ඔස්සේ ගෝලීය වශයෙන් සිදුවන හරිතාගාර විමෝචන බලපෑම වෙනස් කළ හැකිවෙනවා යැයි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් අපට අපගේ ආහාර වේල සතියකට එක් වතාවක් හෝ වෙනස් කර ගැනීමට හැකිනම් එය ඉතා වටිනවා. සතියේ සදුදා දිනයේ හෝ නිර්මාංශ වන්නැයි අප යෝජනා කරන්නේ ඒ නිසයි. සියලු දෙනාම එක්ව නිර්මාංශ සදුදා ශ්‍රි ලංකා ව්‍යාපාරය හා අත්වැල් බැද ගනිමින් සදුදා දිනයේ නිර්මංශවී සිටින්නේ නම් දේශගුණ විපර්යාස සදහා වන බලපෑම අවම කළ හැකිවෙනවා. නිර්මාංශ සදුදා ව්‍යාපෘතිය ඔස්සේ මේ වනවිටත් රට තුළ විවිධ පාර්ශව දැනවත් කර තිබෙනවා.

දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කිරීම්, දේශගුණ සාක්ෂරතාව ඉහළ නැංවීම, විද්‍යාත්මක දත්ත එක්රැස්කිරීම,  නැමැති ප්‍රමුඛතම අංශ තුන ඔස්සේ ශ්‍රි ලංකාවේ දේශගුණික විපර්යාසයන් පිළිබදව ආමන්ත්‍රණය කළ යුතුයි. ජනතාවගේ සමාජීය තත්ත්වයන්, අදායම් මට්ටම්, වයස් සීමා, ලිංගික බලපෑම්, දේශගුණ විපර්යාසයන්ගෙන් අනතුරට භාජනය විය හැකි තත්ත්වයන් එහිදී විශේෂ සැළකිල්ලට ගත යුතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රට තුළ එක් ප්‍රතිපත්තියක් සකස්වීමේ අවශ්‍යතාව තිබේ. ශ්‍රි ලංකාව හරිත දනව්වකට මුල පුරන්නේ නම් දේශගුණික විපර්යාස සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතිමය රාමු රට තුළ ක්‍රියාත්මක කිරිමත් අත්‍යවශ්‍ය කරුණක්. එවිට කිසිවකුටත් ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ හැකි වන්නේ නැහැ. දැනට ඒ සදහා අප කළ යුතුවන්නේ තනි තනිව ස්වභාව ධර්මයට හානි නොවන ආකාරයට මනා අවබෝධයෙන් යුතු පරිභෝජන රටාවකට හුරුවීම යැයි නිතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවැසුවාය.


Posted

in

by

Tags: