නව වසරේ නව අභිප‍්‍රායන්: නිර්මාංශ ජීවන රටාවකට හුරුවීම

අවන්ති ජයසූරිය

නව වසරක ආරම්භය යනු අපගේ ජීවිතයේ වටිනාකම්, ජීවන රටා තෝරාගැනීම් ආදිය සලකා බැලීමට හොඳම කාලයයි. එමෙන්ම ජීවිතයේ තවදුරටත් අත්හැරිය යුතු හා වැළඳගත යුතු දේ පිළිබඳ සිතාබැලිය යුත්තේ ද වසරක ආරම්භයේදී ය. ආහාර පුරුදු යනු අපගේ සෞඛ්‍යය සහ සුබසිද්ධිය පිළිබඳ නිර්ණය කරන ප‍්‍රධානතම සාධකයයි. එබැවින් ආහාරවල ප‍්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වීම, සෞඛ්‍යවත් ජීවනරටාවකට යොමුවීම, පරිසරය වෙත නිකුත්කරන හරිතාගාර වායූ විමෝචනය අවම කිරීම, නව වසරේ අලූත් අභිප‍්‍රායන් ලැයිස්තුගත කිරීමේදී අප අවධානය යොමු කළ යුතු අංගයන් ය. 

පළමු යෝජනාව: වඩා සෞඛ්‍යසම්පන්න නව වසරක් කරා

ශාක-මූලික ආහාර වෙත යොමුවීම, ටික කාලයක් තිස්සේ පැවතෙමින් එන ගෝලීය ප‍්‍රවණතාවක් බවට පත්ව තිබේ. අපගේ සෞඛ්‍යය සහ යෝග්‍යතාව සඳහා වැඩි බලපෑමක් ඇතිකිරීමට නිර්මාංශ ආහාරවේල්වලට හැකියාව පවතී. භෝජන විද්‍යාව හා පෝෂණය පිළිබඳ ඇමෙරිකානු විද්‍යායතනය විසින් කරන ලද නවතම ප‍්‍රකාශනයක ද මේ පිළිබඳ කරුණු ඇතුළත් වී තිබේ. කිසිදු සත්ව ආහාරයකින් තොරව   ශාක-මූලික ආහාර පමණක් පරිභෝජනය පිළිබඳ කරුණු ඇතුළත් එම ප‍්‍රකාශනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සත්ව නිෂ්පාදන සහිත ආහාරවලින් ඉවත් වී නිර්මාංශ ආහාර කෙරෙහි නැඹුරුවීමෙන් දැනට පවතින බොහෝ රෝගාබාධ ඇතිවීම වැළැක්විය හැකි බවය. එම අධ්‍යනය පෙන්වා දෙන පරිදි මුළුමනින්ම ශාක-මූලික ආහාර පමණක් හෝ සත්ව ආහාරවලින් තොර ආහාරවල වුවද, ප්‍රෝටීන්, එන්-3 ෆැටී ඇසිඞ්, යකඩ, සින්ක්, අයඞීන්, කැල්සියම් සහ විටමින් ඞී සහ බී-12 ආදී ප‍්‍රධාන පෝෂණ සංඝටක ප‍්‍රමාණවත් පරිදි අඩංගු වන බවය. ශාක මූලික ආහාර ගැනීමේ ප‍්‍රතිලාභ ලෙස දියවැඩියා වර්ග දෙකක්, අධි රුධිර පීඩනය,හෘද රෝග, ස්ථූලතාව යන රෝග වැළැක්වීමට උපකාරී වේ. ඉතින් ඔබට අවශ්‍ය වන්නේ සෞඛ්‍යසම්පන්න ජීවනරටාවක් නම්, එළවළු පමණක් ආහාරයට ගැනීම හෝ සත්ව ආහාර ගැනීමෙන් වැළකීම නව වසරේ හොඳම තෝරාගැනීම වනු ඇත. 

දෙවැනි යෝජනාව: වඩාත් පාරිසරික සවිඥානික ජීවන රටා තෝරාගැනීම

කෙටි කාලීන සෞඛ්‍ය ප‍්‍රතිලාභ වලට අමතරව නිර්මාංශ වීම, අපගේ පරිසරයට මෙන්ම පරිසර පද්ධතියට ද එක්කරනුයේ පුළුල් බලපෑමකි. පවතින සංඛ්‍යාලේඛන පෙන්වාදෙන්නේ පශුසම්පත් කර්මාන්තයේ කුකුළු මස්, හරක් මස්, ඌරු මස් ඇතුළු මාංශ නිෂ්පාදන හරිතාගාර විමෝචන මට්ටම ඉහළ දැමීම හේතුවෙන් දේශගුණික විපර්යාසයන් කෙරෙහි තුඩුදෙන ප‍්‍රධාන සාධයක් බවට එය පත්වන බවයි. සමීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මිනිසුන් වැඩි වැඩියෙන් නිර්මාංශ වීමට කටයුතු කළහොත් ආහාර නිෂ්පාදනයෙදී සිදුවන හරිතාගාර විමෝචනය 70%කින් අඩු කරගත හැකි වේ. එමගින් 2050 වනවිට මිලියන 8ක පමණ ජීවිත බේරාගත හැකි වනු ඇති බව ද සමීක්ෂකයෝ අවධාරණය කරති. ඔබගේ ආහාර රටාවේ කරනු ලබන සුළු වෙනසකින් වුවද කාබන් විමෝචනය අවම කොට හරිත ලෝකයක් ගොඩනැගීමට ඔබ නොදැනුවත්වම දායක වනු ඇත.

තෙවැනි යෝජනාව: සත්ව සුබසාධනය වෙනුවෙන් පෙනීසිටීම

ඔබ සතුන්ට ආදරය කරන්නේ නම් හා ඔවුන් ගැන සිතන්නේ නම් නිර්මාංශ වීම, ඒ සඳහා ඇති හොඳම මාර්ගයයි. ඒ, කුකුල් මස් නිෂ්පාදනය වැනි මාංශ නිෂ්පාදනය වෙනුවෙන් සතුන් යොදාගැනීම යන කාරණාවලින් බැහැරවී කෲරත්වයෙන් තොර මානුෂීයව සතුන්ට සැළකීම එමගින් ප‍්‍රකට වන නිසාය. මාංශ හා කිරි නිෂ්පාදන පරිභෝජනය අවම කිරීමෙන් ඒ සඳහා වන ඉල්ලූම අඩු වන අතර එමගින් සත්ව නිෂ්පාදන නිපදවීමේ ධාරිතාවය අවම කර ගැනීමෙන් මෙම ගැටලූව යම් තරමකින් විසඳා ගැනීමට සහය වනු ඇත. මෙය මාංශ හා කිරි පරිභෝජනය පරිසර හිතවාදී තිරසර රටාවකට ගෙනයාමේ ප‍්‍රධාන සාධකය බවට පත්වේ. එමගින් සත්ව සුබසාධනය සිදුවනවා පමණක් නොව, සත්ව කෘෂිකර්මාන්තයේදී භාවිත කරනු ලබන ක‍්‍රමවේද සඳහා ද අනිවාර්ය බලපෑමක් සිදුකරනු ලබයි. 

සත්ව හා කිරි නිෂ්පාදන ඉල්ලූම හා සැපයුම් ධාරිතාවයන් අවම කිරීම මගින් සත්ව හිංසනයෙන් තොර කර්මාන්තකරණය හා වාණිජමය නොවූ නිෂ්පාදන ක‍්‍රමවේදවලටද අවතීර්න වීමට ද හැකියාව ලැබේ. වඩාත් මානුෂීය, කෲරත්වයෙන් තොර ක‍්‍රම භාවිතයෙන් සතුන්ගේ පොදු සුබසාධනය සැලසීමට හැකියාව ලැබෙනු ඇත.

නිර්මාංශ ජීවිතයකට හුරුවීම

දිගුකාලයක සිට හුරුවි සිටින ආහාර පුරුදු වෙනස් කිරීම සැබැවින්ම අභියෝගයකි. නිර්මාංශ වීම කළයුත්තේ ක‍්‍රමානුකූලව ය. ආහාරවේල් සැලසුම් කිරීම, ආහාර පිටතින් මිලදී ගැනීම, නිවසේ ආහාර පිසීම සහ අවන්හල් තෝරාගැනීම් ආදියේ සිට ක‍්‍රමයෙන් ඒ සඳහා හුරුපුරුදු විය යුතුය. “නිර්මාංශ සඳුදා” යනු ඒ සඳහා ඔබට ඇති හොඳම ආරම්භයයි. එය සතියේ තෝරාගත් දිනක් නිර්මාංශ වී ක‍්‍රමයෙන් නිර්මාංශ ජීවන රටාවකට හුරුවීම සඳහා ඔබට පහසු මඟක් වනු ඇත. ඔබ එක් වරක් නිර්මාංශ ආහාර වේලක් සැකසුවහොත් ඔබ නිතැතින්ම මාංශ අවම කරමින් ක‍්‍රමයෙන් ආහාර සකස් කරදීමටත්, මාංශ අනුභවය මුළුමනින්ම නතර කර දැමීමටත් හුරුපුරුදු වනු ඇත. එමගින් ඉන්පසුව සත්ව හා කිරි නිෂ්පාදන පරිභෝජනයෙන් සම්පුර්ණයෙන් වැළකීම සඳහා මඟපෑදෙනු ඇත. 

කෙසේ හෝ වේවා, නිර්මාංශ, සෞඛ්‍යසම්පන්න, නීරෝගීමත්, හා පරිසරහිතවාදී ජීවන රටාවකට හුරුපුරුදුවීමට ඔබට ඇති හොදම අවස්තාව නව වසර ආරම්භය වේ.


Posted

in

by

Tags: