තිරසර ආහාර පරිභෝජනය හා කෲරත්වයෙන් තොර ජීවනෝපාය පිළිබද දැනුවත්භාවය වර්ධනය කිරීම

2018 ලෝක පරිසර දිනය දා ස්ලයිකැන් භාරය, තරුණ සේවා සභාව සමගින් තරුණ ප්‍රජාව වෙනුවෙන් ‘තරුණ පාර්ලිමේන්තුවෙන් ගමට’ නමින් අධ්‍යාපනික වැඩසටහන් පෙළක් සංවිධාන කරන ලදී. එය පැවැත්වුණේ කුරුණෑගල සිට පැය දෙකක් පමණ ගෙවාදැමීමෙන් යා යුතු ගල්ගමුවේදී ජුනි 05 වැනි දාය. ජාත්‍යන්තර මානව සමාජයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා සහ ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මෙනවිය හා එම සංවිධානයේ සෙසු නියෝජිතයන් එක්ව එම ප්‍රදේශයේ වයස අවුරුදු 14ත් 19ත් අතර පාසල් සිසුන් හා අදහස් හුවමාරු කරගන්නා ලදී. පරිසර හිතකාමී ජීවනෝපායන් පිළිබද එහිදී ඔවුන්ගේ අදහස් ලබාගැනීමට හැකිවිය. එමෙන්ම තිරසර සංවර්ධනය, තිරසර පරිභෝජන රටාවක සැබෑ භූමිකාව, එය දේශගුණ විපර්යාසයන්ට හා සත්ව සුබසාධනයට බලපාන්නේ කෙසේ ද යන කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

තිරසර සංවර්ධනය හා තිරසර පරිභෝජනය පිළිබඳ සැසියේ අංගයක් ලෙස ජාත්‍යන්තර මානව සමාජය සමග හවුල්කාරිත්වයෙන් යුතුව සල්යිකැන් භාරය මූලිකත්වය ගනු ලැබූ ‘නිර්මාංශ සඳුදා’ ගෝලීය ව්‍යාපෘතිය පිළිබද ඊට සහභාගිවූවන්ට හදුන්වාදීමක් ද සිදුකෙරුණි. නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අතිසාර්ථක ගෝලීය ව්‍යාපෘතියක් ලෙසින් වර්ධනය වෙමින් පවතී. එහි අරමුණ වන්නේ මාංශ පරිභෝජනය අවම ‌කොට, පරිසර විනාශයට හේතුවන පශු කර්මාන්තය පිළිබද හා නිර්මාංශ ජීවන රටාවකට හුරුවීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබද ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි. 

නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය විසින් මෙම සැසිය සංවිධාන කරන ලද්දේ ඒ පිළිබද පාසල් සිසුන් අතර දැනුවත්භාවය ඇතිකිරීම වෙනුවෙනි. එහිදී තිරසර පරිභෝජන රටා පිළිබඳ, කෲරත්වයෙන් තොර කටයුතු කිරීම සදහා ජීවනෝපාක්‍රම නව්‍යකරණය කරගැනීම ආදිය පිළිබඳ පාසල් සිසුන් මෙහිදී දැනුවත් කෙරිණි. නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියේ සංකල්පය පිළිබද මෙන්ම වගකීම්සහගත ජීවනරටාව, නවීන තාක්ෂණයන් වෙත පෙළඹවීම, මිහිතලය සුරකිමින්, සත්වයන් ආරක්ෂා කරගනිමින් තිරසර නිෂ්පාදන ක්‍රියාවලියට ජීවනෝපාය තුළින් දායක වන්නේ කෙසේදැයි අවබෝධ කරලීමට ද මෙම සැසිය තුළින් හැකියාව ලැබිණ.


Posted

in

by

Tags: