“අපිට අප වෙනුවෙනුත්, සෙසු අය වෙනුවෙනුත් මුළුමහත් පෘථිවිය වෙනුවෙනුත් කළ හැකි කුඩාම මෙන්ම හොඳම දේ නිර්මාංශ වීමයි. අපගේ අනාගතය ඇත්තේ එතැනයි” – සූ ඉරූජ්

නිර්මාංශ සඳුදා (Meatless Monday) ව්‍යාපාරයේ 2017 ජුනි 9 වැනිදා පැවැති සමාජ  ජාලා තරඟයෙන් ජයග‍්‍රහණය කළ සූ ඉරූජ් දිගුකලක් තිස්සේ නිර්මාංශ තැනැත්තියකි. ඇය නිර්මාංශ වූයේ ඇයි ද යන්න පිළිබඳව හා මාංශවලින් සකසන ලද ආහාර පරිභෝජනය නොකර සිටීමට ඇය සිතන්නේ ඇයි ද යන කරුණු පිළිබඳ ඇය අප වෙත මෙසේ අදහස් දැක්වූවාය.

”මම වසර 4ක් තිස්සේ නිර්මාංශ අයෙක්.” “ඔබ එතෙක් මෙතෙක් ඇසූ හොඳම කතාව” ලෙසින් යූටියුබ් සමාජ වෙබ් අඩවියේ ඉතා ජනප‍්‍රිය කතාවක් තිබුණා. එය ගේරි යුරොව්ස්කිගේ. එය ඇසීමෙන් පසුව මුල්ම වතාවට තමයි මට තේරුණේ කිරි ආහාර, බිත්තර පරිභෝජනය ගැන මෙතෙක් දැන සිටි දේවල් කොච්චර වැරදිද කියලා. ඒ වගේම සත්ව කෘෂිකර්මයේ ඇත්ත තත්ත්වය පිළිබඳව මට හොඳින් තේරුම් ගියා. එය පරිසරයට වගේම සෞඛ්‍යයට කෙතෙක් බලපානවාද කියලා මම දැනගත්තා. මට ඇත්තටම දැණුනේ මට කම්මුල්පාරක් ගැහුවා වගේ. මට තවදුරටත් සත්ව නිෂ්පාදන කර්මාන්තයට දායක වෙන්න කොහෙත්ම බෑ කියලා මට දැනෙන්න ගත්තා. ඉන්පසුව මම නිර්මාංශ වුණා. මම බොහෝසෙයින් මාංශ, කිරි ආහාර, බිත්තර සඳහා ඇබ්බැහි වී සිටි කෙනෙක් හැටියට මට මුලින් එය ටිකක් අපහසු වුණා. නමුත් මාස කිහිපයක් යනවිට මට අලූත් ලෝකයක් මුණගැහුණා වගේ. එයින් මිදෙන්න මට හැකියාවක් තිබුණෙම නෑ. අද කාලයේ සියලුදේ මස්, මාංශ, කිරි, බිත්තර වලින් තොරව සාදාගතහැකි නිසා ඒ විදියට කන එක ප‍්‍රශ්නයක් නෙවෙයි. මගේ සෞඛ්‍යයත් ගොඩක් වැඩිදියුණු වුණේ හිතපු නැති විදියට.

ගල්කිස්ස මහහෝටලයේ දී නිර්මාංශ බුෆේ ආහාර වේලක් රසවිඳින්න මට හොද අවස්ථාවක් ලැබුණා. ඒ ගැන ‘නිර්මාංශ සඳුදා ශ‍්‍රී ලංකා’ ව්‍යාපෘතියට ස්තූතියි. එය ඇත්තටම දිව්‍ය බොජුනක් වගෙයි. එය ඉතා ප‍්‍රණීත වගේම ආකර්ෂණීය ආහාර වේලක් පමණක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම මාංශ, බිත්තර, කිරි සහ වෙනත් සත්ව නිෂ්පාදන යොදානොගත් කදිම ආහාර වේලක්. මිනිසුන් බොහෝදෙනෙක් නිර්මාංශ වන්නෙ එළවළු වැඩිපුර ආහාරයට ගන්න. නමුත් පරිසරයට හෝ සතුන්ට හානියක් නොකොට, අපගේ සෞඛ්‍යය අනතුරේ හෙළන්නේ නැතිව, අපිට රසවත් ආහාර ලබාගත හැකි බවට මෙම බුෆේ එක හොඳම නිදසුනක්.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවා ය.

‘නිර්මාංශ සඳුදා’ තරඟය සංවිධාන කරන ලද්දේ නිර්මාංශ වීමේ වැදගත්කම හා නිර්මාංශ ජීවන රටාවකට අනුහුරු වීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණ පෙරදැරිවයි. තරගයේ ජයග‍්‍රාහකයින්ට ගල්කිස්ස මහහෝටලයේ සෑම පෝය දිනකම සකස් කෙරෙන, විවිධ ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් ඇතුළත් මුළුමනින්ම නිර්මාංශ බුෆේ දිවා ආහාර වේලක් රසවිඳීම සඳහා වවුචර් පත් දෙකක් ප‍්‍රදානය කෙරිණ.


Posted

in

by

Tags: