Tea Avenue වීගන්හයි ටී One Galle Face (වන් ගෝල්ෆේස්)

– One Galle Face (වන් ගෝල්ෆේස්)

 

පසුගිය පොහෝ දිනයේ, One Galle Face හි පිහිටි Tea  Avenue විසින් වීගන් හයි ටී පිළිබඳව පලකල තිබූ දැන්වීම දකින විට අප සැම ඉමහත් සතුටට පත් විය. SLYCAN Trust හි සුරම්‍යා, නිපුන් සහ තිමාලි සමග මා ද මෙම නවමු අත්දැකීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වුයේ එය නිපුන්ගේ, තිමාලිගේ සහ මගේ ප්‍රථම වීගන් හයි ටී අත්දැකීම වූ නිසාවෙනි. එම අත්දැකීම වඩාත් ඵලදායී සහ විනෝදජනක වීමට සුරම්‍යාගේ පැමිණීම ඉවහල් වූ අතර ඇය නිර්මාංශ වීම එහි විශේෂත්වයයි. අප තිදෙනා නිර්මාංශ නොවූ නමුත් වීගන් ආහාර පිළිබඳව නිර්ව්‍යාජ රස පරීක්ෂාවක් කිරීමට අපේ අදහස් වැදගත් බව සුරම්‍යාගේ අදහස විය. 

Tea  avenue අවන්හලේ සවස තේ පානයට පැමිණීමට පෙර වෙන් කරවා ගැනීමක් කිරීම ඔවුන් නිර්දේශ කරන අතර එය ඔවුන්ගේ වට්ස්ඇප් අංකයට දුරකථන ඇමතුමක් ලබාදීම මගින් පහසුවෙන් සිදු කරගත හැකිය. තේ අවන්හල මනා සිත්ගන්නා සුළු ස්ථානයක් වන අතර පාරිභෝගිකයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවන්හල පිවිසුමේ සඳහන්  කර ඇත. 

පෙර සඳහන් කල පරිදි Tea  avenue  විසින් මෑතකදී සිට වීගන් හයි ටී සංකල්පය ආරම්භ කර ඇති අතර අපට අවශ්‍ය  ආහාර වර්ග පිරික්සුම සඳහා මුද්‍රිත ආහාර මෙනුවක් ලබා දීමට ඔවුන් අපොහොසත් විය. කෙසේ වුවත්, අපගේ සේවාදායක මොහොමඩ්, අපට ආහාර තෝරා ගැනීමට සහය වීමට ඉක්මන් පැහැදිලිකිරීමක් කිරීමට සමත් විය. මද වෙලාවකට පසු, සිත් ගන්නා සුළු ආහාර පිලිගන්වනයක දෙදෙනෙකුට ප්‍රමාණවත් ලෙස කෙටි කෑම වර්ග පහක් සහ අතුරුපස වර්ග තුනක් අප වෙත පිලිගැන්වුනු අතර එය රුපියල් 2400 කට මිල නියම කර තිබිණි.

කෙටි කෑම වර්ග පහ යටතට ස්පිනාචි කීෂ් (spinach quiche), බ්රුශේටා (Bruschetta), ක්‍රිස්පි පොටැටෝ රෝල් (Crispy Potato roll), ස්පිනාචි/ ස්ප්‍රින් අනියන් ව්රැප් (Spinach spring onion wrap), මිනි වීගන් බර්ගර් (Mini vegan burger) ඇතුලත් විය. අතුරුපස වර්ග වූයේ බ්‍ර්වනී (Brownie), ටිරමිසූ (Tiramisu) සහ ෆ්රුට් කොක්ටේල්ය (Fruit cocktail). අපගේ ප්‍රථම වීගන් හයි ටී අත්දැකීම සඳහා අප සැම තුල වූයේ විශාල කුතුහලයක්ය. කෙටි නිහඬතාවයකින් අනතුරුව සුරම්‍යා වෙත වීගන් ආහාර සම්බන්ධව ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමට එම කුතුහලය සමත් විය. වීගන් හයි ටී මෙනුව තුල වර්ග කීපයක තේ එකතුවක් අප වෙත ඉදිරිපත් කර තිබූ අතර අපගේ තේරීම් අතරට ක්ලසික්(Classic), චායි (Chai), ෆොරස්ට් බේරී (Forest Berry) සහ ලයිචි ටී (Lychee tea) අයත් විය. 

 

දැන් රස පරික්ෂාවට යොමු වෙමු. සාපේක්ෂව මගේ වැඩි කැමැත්ත ස්පිනාචි කීෂ් (spinach quiche) වෙත යොමු වුවත් තිමාලි සහ නිපුන්, ක්‍රිස්පි පොටෙටෝ රෝල් (Crispy Potato roll) වඩාත් ප්‍රිය කලේය. සුරම්‍යාගේ ප්‍රියතම ආහාර අයිතමය වූයේ මිනි වීගන් බර්ගර් (Mini vegan burger) ය. ඇගේ අත්දැකීම් වලට අනුව එහි අඩංගු වූ ස්වභාවික රසගන්වනයන්හි මනා රස සංයෝජනය සහ නැවුම් බව, මිනි වීගන් බර්ගර් (Mini vegan burger) අනෙක් ආහාර අයිතම වලට වඩා ඉහල තලයකට ගෙන යාමට සමත් වී තිබිණ. පුළුස්සන ලද සිහින් කැරට් පෙත්තක් වීගන් බේකන් ලෙස යොදාගෙන පිලිගන්වා තිබූ බ්රුශෙටා (Bruschetta) සිත්ගන්නා සුළු වූ නමුත් එහි රසවත් භාවය වැඩිකිරීමට තවත් උපක්‍රම තිබූ බව මගේ මතය විය. සුරම්‍යාගේ අදහස වූයේ එයට බැල්සමික් විනාකිරි යොදාගත්තේ නම් වඩා රසවත් වන බවයි. පොදුවේ ගත් විට, සියලු දෙනාගේම අඩුම කැමැත්ත ස්පිනාචි ව්රැප් (Spinach wrap) එක සඳහා හිමි වූ අතර එයට ප්‍රධානම හේතුව වූයේ නිවිති අඩංගු ආහාර අයිතම දෙකක් එම ආහාර වේලට අඩංගු වීමයි. සැම දෙනාගේම අදහස වුයේ එයට වෙනස් රසයක් එක වූයේ නම් වඩා හොඳ බවයි. මෙම අදහස් සහ ප්‍රතිචාර tea avenue හි ඉදිරි සැලසුම් වෙනුවෙන් වඩාත් ප්‍රයෝජනවත් වන බව අපගේ විශ්වාසයයි. සමස්තයක් ලෙස, එය සිත්ගන්නාසුළු තේ පැන් සංග්‍රහයක්  වූ අතර අපට සතුටින් රසවිඳීමට හැකි විය.

එදින විශේෂතම අංගය වූයේ අතුරුපස වූ අතර සැවොම ඒ සඳහා උද්යෝගී වූයේ එහි වූ ආකර්ශනීය පිළිගැන්වීම නිසාවෙනි. එම අතුරුපස ගැන සඳහන් කිරීමේදී අමතක නොකල හැකි රසයක් එක් කිරීමට බ්‍රව්නීස් (Brownies) සමත් විය. එහි මතුපිට තරමක් රළු වූ අතර ඇතුලත වඩා මෘදු බවකින් සහ ප්‍රනීත රසයකින් යුක්ත විය. අපගේ අදහස වූයේ සාමාන්‍ය බ්‍රව්නීස් වලට සමාන සහ ඊටත් වැඩි රසයක් එහි වූ බවයි. එලෙසම, එම අතුරුපස අයිතම අතරට අපූරු රසයන් කිහිපයක සංයෝජනයක් ඇතුලත් වූ අතර එය ටිරාමිසු (Tiramisu) නම් විය. පොල්, ඉඟුරු බිස්කට් සහ නොදන්නා රසයන් වල එකතුවක් වූ එය මෙම තේ සංග්‍රහයට මෙතෙක් නොවිඳි අපූර්වත්වයක් එක් කිරීමට සමත් විය. සුරම්‍යාට අනුව එහි ඇය අපේක්ෂා කල ආහාර විශිෂ්ටත්වය අන්තර්ගත විය. පලතුරු කොක්ටේල් එකක් අතුරුපස අංගයක් ලෙස එක් කිරීම ඉතා දක්ෂ පියවරක් වූයේ පීච්, ස්ට්‍රෝබෙරි සහ චෙරි සංයෝජනය අනෙක් අතුරුපස දෙක අතරට හොඳ වෙනසක් එකතු කල බැවිනි. 

අවංකවම, වර්තමානයේ අවන්හල් වැඩි ප්‍රමාණයක් වීගන් සහ නිර්මාංශ ආහාර විකල්ප ඔවුන්ගේ ආහාර මෙනු තුලට එකතු කරනු දැකීම අපගේ ඉමහත් සතුටට හේතු වන අතර ඔවුන් මානුෂීය සහ සත්ව හිංසාවෙන් තොර ආහාර වර්ග පිළිගැන්වීමේ වටිනාකම තේරුම් ගෙන තිබීම නිර්මාංශ ආහාර අනුභව කරන්නන්ගේ පමණක් නොව සියලු සතුන්ගේ සහ සමස්ත ලෝකයේම විශාල ජයග්‍රහණයක් වේ. එසේම, සත්ව හිංසනයෙන් තොර වීමට අමතරව වීගන් සහ නිර්මාංශ ආහාර පෝෂණ ගුණයෙන්, රසවත් බවින් මෙන්ම ස්වභාවයෙනුත් ඉහල බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එමනිසා, මස් පදනම් කරගත් ආහාර වල වීගන් අනුවාදයට පමණක් සීමා වීම පිළිගත නොහැකි අතර කර්මාන්තයට මෙන්ම ශරීර සෞඛ්‍යයටද යහපත් වන නව්‍ය ආහාර අත්හදා බැලීම ඉතා වැදගත් වේ. 

ඔවුන්ගේ වීගන් ආහාර සේවාව වඩා හොඳ කර ගැනීම සඳහා Tea  Avenue විසින් අප වෙත ඉදිරිපත් කරන ලද විස්තරාත්මක ප්‍රතිපෝෂණ පෝරමය අපි ආදරයෙන් අගය කරන්නේ එබැවිනි. ඕනෑම වීගන් ආහාරයක් පමණක් නොව, රස ගුණ පිරි වීගන් ආහාර වේලක් පිරිනැමීමට ඔවුන් දක්වන කැපවීම මෙයින් තවදුරටත් විදහා දක්වයි. නිපුන්, තිමාලි සහ මගේ මතය වුයේද එය වෙනස් නමුත් රසවත් අත්දැකීමක් වූ බවයි. එය අනිවාර්යයෙන්ම ජයග්‍රාහී නිමාවක් විය.      

සටහන: චලනි මාරසිංහ


by

Tags: