කෘෂිකර්මාන්තය තුල වර්තමානයේදී පාලනයකින් තොරව කෘෂි රසායන භාවිතය නිසා පෘථිවියේ පස, ජලය, වෘක්ෂලතා, සත්ත්ව විශේෂ, වාතය මෙන්ම මිනිසාගේ සෞඛ්‍යයටද විශාල තර්ජනයක් ඇති වන බවට සැකයක් නැත. වායුගෝලීය සංයුතිය තුල මෙම කෘෂි රසායන මුසු ජල බිඳිති සාන්ද්‍රණය ඉහල යමින් පවතින අතර එය සියලුම පරිසර පද්ධතිවල ජීවයට දැඩි ලෙස හානි කරයි. විශේෂයෙන්ම මානව ප්‍රජාව තුළ බෝ නොවන රෝග ව්‍යාප්ත වීමට මෙය ආසන්න හේතුවක් විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්පාදනය කරන ලද 2020 වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 80ක් පමණ වාර්තා වේ. වෙළඳපල තුල සෞඛ්‍යයට හානිකර සහ විෂ සහිත පාරිභෝගික නිෂ්පාදන නිර්මාණාත්මක වචන භාවිතා කරමින් ඉලක්කගත ප්‍රේක්ෂකයින් නොමග යවමින් අලෙවි කරනු අපට දැකගත හැක. මේ වන විට පෘථිවියේ පැවැත්ම අනතුරට ලක්ව ඇති අතර සියලුම ජීවීන්ගේ තිරසාර පැවැත්ම උදෙසා එහි අනාගත සෞඛ්‍යය යහපත් කිරීමට නම් එය සුවපත් කිරීම සහ ආරක්ෂා කිරීම අපගේ පරම වගකීමක් ලෙස සැලකිය යුතුය. 

ගොවිතැනින් සිදුවන හානිය නිවැරදි කරමු

වී වගාව සහ හේන් වගාව අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වඩාත් ප්‍රචලිත ගොවිතැන් ක්‍රම වේ. වී වගාව තම ආහාර සංස්කෘතිය, වාර්ගික බැඳීම් සහ කලා මාධ්‍ය තුළ අන්තර්ගත කරගත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මේ වන විට අත්වෙමින් පවතින ඛේදනීය ඉරණම ඉතාමත් කණගාටුවට කරුණකි. විශේෂයෙන්ම, අඩු වියදමකින් ඉහළ අස්වැන්නක් සහ ඉහළ ගුණත්වයකින්ද යුතු අස්වනු නෙළීමේ ක්‍රමයක් අපට උරුම වී තිබී ඇත. මෙම පදනම මත, කාබනික ගොවියෙකු ලෙස මා ලබා ඇති වසර 6 ක අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

වී වගාව

ඕනෑම බෝගයක් වගා කිරීමේදී සැලකිල්ලට ගත යුතු වැදගත් සාධකයක් ලෙස පසෙහි ස්වභාවය හැඳින්විය හැක. සාරවත් භාවය පමණක් නොව බෝග පෝෂණයට හා රෝග පාලනයට අදාළ විසඳුම් අවට පරිසරයෙන් සොයාගත යුතුය. පාංශු සංරක්ෂණය, හොඳ ජල කළමනාකරණය සහ හිතකර ජීවීන්ගේ වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. වල් පැලෑටි පාලනය සඳහා යාන්ත්‍රික විසඳුම් භාවිතා කළ හැකි අතර ඕනෑම ශාකයක රෝග පාලනය කිරීමට භාවිත කල හැකි ජීවීන් සිටී. තවද, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බීජ පැල භාවිතයෙන් බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව මගේ පෞද්ගලික අත්දැකීමෙන්ද මම සොයා ගතිමි. මෙම ප්‍රතිලාභ අතර විසිරුණු සහ පුළුල් මූල පද්ධතියක්, පඳුරු වර්ධනය සහ අස්වැන්න වර්ධනය සහ අස්වැන්නෙහි උස වැඩි වීම ඇතුළත් වේ.

පළමුව පසට පොහොර යෙදීම

  • අස්වැන්න නෙලීමෙන් පසු ඉතිරි වී ඇති වියලී ගිය කුඹුරුවලට ගිනි තැබීමෙන් වළකින්න. මෙමගින් පාංශු ඛාදනය වළක්වන අතර පස වියළීම අවම කර ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය වේ.
  • මී ගස් (Mousey me), කරඳ (Indian Beech), ගිනිසීරිය (Gliricidia), නික, වල් සූරියකාන්ත යන ගස්වල කොළ, වගා කිරීමට පෙර කුඹුරට එක් කරන්න, එය පසෙහි ලවණතාව සහ රෝග සමතුලිත කරයි.
  • කල්තියා රනිල කුලයට අයත් බෝග වගා කරන්න.
  • බාහිර ජල මූලාශ්‍ර වගා බිමට ගලා නොයන බවට සහතික වන්න.
  • පළමු අදියරේ දී සීසෑම අඩු ජල මට්ටමකින් සිදු කළ යුතු අතර, පසුව පිදුරු, පොහොර, නැවුම් කොළ සහ ගිනිසීරිය කොළ අතුරා පස සාරවත් කළ යුතුය. මෙම අවස්ථාවේ දී පසෙහි ලවණතාව සමතුලිත කිරීම සඳහා වී පොතු සහ ගල් අඟුරු යොදා ගනී.
  • මේ වන විට, බීජ ව්‍යාප්තිය සඳහා පස සූදානම් වේ. මෙම පුනර්ජීවනය වූ සහ නිරෝගී පස දැන් බීජ පැල පෝෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමටත්, බෝග වර්ධනය කිරීම සඳහාත් සූදානම්ය.

කෙසේ වෙතත්, අමතර වියදමක් දරා විෂ රසායන එකතු කිරීම ඉහත සඳහන් කළ ස්වභාවික ක්‍රියාවලිය බිඳ දමමින් භූමිය දුර්වල කරන අතර එමඟින් අරගලකාරී පරිසර පද්ධතියක්, අඩු ගුණාත්මක අස්වැන්නක් සහ සෞඛ්‍ය සම්පන්න නොවන පසක් ඇති කරයි.

වී වල ප්‍රධාන අදියර 3ක් ඇත

බීජෞෂණ කාලය දින 0/35 කි

ප්‍රජනක කාලය දින 35/70

පූදින කාලය දින 70/90 කි

සෞඛ්‍ය සම්පන්න පසක හොඳින් වැඩෙන බෝගයක් ඕනෑම අවස්ථාවක පළිබෝධකයන්ට ගොදුරු වීමේ ඉඩකඩ පවතී. මෙයට විසඳුම, හානිකර පළිබෝධ පලවා හරින සතුන්ගේ ස්වරූපයෙන් ස්වාභාවධර්මයේම පවතී. කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය නිසා මෙවැනි ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්වල අපට නොපෙනෙන අසමතුලිතතාවයක් ඇති කරයි. අස්වැන්න නෙළීමට සූදානම් වන විට, අලුයම වී පිපිරෙන්නේ සොබාදහමේ ආශීර්වාදය ලබා ගැනීමට වාගේය. මෙම තීරණාත්මක කාලය තුළ ගොවීන් රසායනික ද්‍රව්‍ය ඉසින විට වීවලට වස විස ඇතුල් වී අස්වැන්නේ ගුණාත්මක භාවය හීන වේ.  

තවද, රසායනික ද්‍රව්‍ය භාවිතය පසෙහි ගුණාත්මක භාවය, ජෛව විවිධත්වය, එහි වර්ධන වේගය විනාශ කරන අතර අස්වැන්න අඩුවීමට පවා හේතු වේ. කාබනික ගොවිතැනේදී එය එසේ නොවන්නේ එය ස්වභාවධර්මය මත පදනම් වූ පරිසර හිතකාමී ක්‍රමයක් වන බැවිනි. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව වසර ගණනාවක් මුළුල්ලේම අපගේ හිතවතුන්ට වස විස ලබා දී තිබේද?  එසේ නම් අපගේම පරිභෝජන පුරුදු ගැන නැවත වතාවක් මෙනෙහි කිරීම ඉතා වැදගත් වේ. අපි ස්වභාවධර්මය මත පදනම් වී සිතන්නට, වෙනස් වීමට සහ විසඳුම් සෙවීමට කටයුතු කරමු.  මක්නිසාද යත්, ස්වභාවධර්මයේ නීතිවලට වඩා ඉහළින් කිසිවක් නැත.

සටහන: චාරුක උදයංග 

පරිවර්තනය: චලනි මාරසිංහ