පෝෂණවේදී සහ ආහාරවේදී ලසිකා ජයමහ සමග Meatless Monday කණ්ඩායමේ සුරම්‍යා හෙට්ටිආරච්චි අතර පැවැත්වූ  විශේෂ වීගන් දින සජීව මාර්ගගත සංවාදය ඇසුරෙනි.

“Meatless Monday” යනුවෙන් හඳුන්වන්නේ මස් මාංශ පරිභෝජනය අවම කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ලොව පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. ශාක මත පදනම් වූ ආහාර රටාව තුලින් පරිසරට, සෞඛ්‍යයට සහ සමස්ත ලෝකයටම ඇති ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් ලෙස සැලකිය හැකිය. වීගන් යන සංකල්පය පිළිබඳව සලකා බැලීමේදී එය ආහාර රටාවකට පමණක් සීමා නොවූ ජීවන රටාවක් ලෙස හැඳින්විය හැක. වීගන් ජීවන රටාව අනුගමනය කරන පුද්ගලයින් මස් මාංශ, බිත්තර, කිරි, මී පැණි යන ඕනෑම සත්වයින් සම්බන්ධ ආහාර සහ අනෙකුත් නිෂ්පාදන පරිභෝජනයෙන් වැළකී සිටී. මෙය වඩාත් තිරසාර, මානුෂීය සහ කෘරත්වයෙන් තොර අපූරු ජීවන රටාවක් වන නමුත් එය සෑම විටම පහසු කාර්යයක් නොවේ. එය කායික සහ මානසික පුහුණුවක් අවශ්‍ය ක්‍රියාවලියකි.

“Meatless Monday” ව්‍යාපෘතිය තුලින් මාංශ මත පදනම් වූ ආහාර රටාවක සිට ශාක මත පදනම් වූ ආහාර රටාවක් කරා පරිවර්තනය සඳහා අවශ්‍ය සහයෝගය උපරිම ලෙස ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. එම ගමනේදී “Meatless Monday” කණ්ඩායමට “2020 ලෝක වීගන් දිනය” සුවිශේෂී දිනයක් ලෙස  හැඳින්විය හැකි අතර එයට ප්‍රධානතම හේතුව වුයේ වීගන් හෝ නිර්මාංශ (වෙජිටේරියන්) ආහාර රටාව සමග බැඳුනු සෞඛ්‍ය ගැටළු එසේ නැත්නම් පෝෂණ ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට සහ ගැටළු නිරාකරණය කරගැනීමට අවස්ථාවක් සැලසීමයි. වීගන් ආහාර රටාවක් අනුගමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා වැදගත් කතාබහකට “Meatless Monday Sri Lanka” කණ්ඩායම විසින් ලසිකා ජයමහට ආරාධනය කරන්නට යෙදුනා. ඇය වෘත්තියෙන් ලියාපදිංචියලත් පෝෂනවේදියකු සහ ආහාරවේදියකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි  සහ එක්සත් ජනපදයේ ආයතනයක් වන Association of Nutrition -UK හි ලියාපදිංචි වී ඇති අතර දැනට කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ සේවයේ නිරතව සිටී. ඇය පෝෂණය සහ සම්බන්ධ පර්යේෂණ කටයුතු වල නියැළී සිටින අතර ශරීර ස්කන්ධය පාලනය පිළිබඳව සායන පැවැත්වීම, ශරීර සෞඛ්‍යය පිලිබඳ දැනුවත් කිරීම් වැනි කාර්යයන්වලද නිරත වෙයි. එසේම ඇය ලෝක බාලදක්ෂිකා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස එහි සෞඛ්‍ය සහ පෝෂණය පිලිබඳ මගපෙන්වීමට ක්‍රියා කිරීම සුවිශේෂී කරුණක් වේ. 

“ශාක මත පදනම් වූ ආහාර” යනු කතාකිරීමට පහසු මාතෘකාවක් නොවේ. මක්  නිසාද යත් අප කුඩා කල සිටම අසා තිබුන ආකාරයට එදිනෙදා ආහාර වේලට එකතු කරගත යුතු ආහාර වර්ග අතරට මාංශ පදනම් කරගත් ආහාරද අන්තර්ගත වී තිබීමයි. එමනිසා මේ පිළිබඳව විශේෂ දැනුමක් සහ පලපුරුද්දක් ඇති ලසිකා ජයමහ සමග සාකච්චා කර පහත ගැටළු විසඳා ගැනීමට අපට හැකි විය. 

  • සාමාන්‍ය පුද්ගලයෙකු සඳහා අවශ්‍ය දෛනික පෝෂණ කොටස් මොනවාද?

පුද්ගලයෙකුගේ දෛනික ක්‍රියාකාරීත්වයට ප්‍රධාන වශයෙන්ම ශක්තිය අවශ්‍ය වන අතර එය අප කැලරි ලෙස හඳුන්වයි. එසේම ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ ජලය යන පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම මූලික වේ. එක් එක් පුද්ගලයන් විසින් සපුරා ගත යුතු පෝෂණ කොටස් ප්‍රමාණය එම පුද්ගලයින් ගත කරන ජීවන අවධිය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ළදරු, ළමා, මුල් ළමාවිය, නවයොවුන්, වැඩිහිටි, ගර්භනී, වයෝවෘද වැනි විවිධ ජීවන අවධි තුලදී ලබා ගත යුතු පෝෂණ කොටස් විවිධ වේ. එසේම පෝෂණ අවශ්‍යතාව එක් එක් පුද්ගලයාට සුවිශේෂී වන අතර ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් මත පෝෂණ අවශ්‍යතාව තීරණය වේ.  විවිධ මුලාශ්‍ර තුල පොදු පෝෂණ අවශ්‍යතාවන් පිලිබඳ අදහස් ඉදිරිපත් වී තිබුනත් සෑම පුද්ගලයෙකුටම පොදු නිර්දේශයක් නැත. එක් පුද්ගලයෙකුට ගැලපෙන පෝෂණ අවශ්‍යතාවයන් තවත් පුද්ගලයෙකුට ඒ ආකාරයෙන්ම නොගැලපේ. එය පුද්ගලයාගේ ජීවන අවධිය, ශරීර ස්කන්ධය, ශරීර සංයුතිය, සමාජ ආර්ථික තත්වයන්, විශ්වාසයන් වැනි විවිධ සාධක මත පෝෂණ අවශ්‍යතාව තීරණය වේ.

  • වීගන් ආහාර රටාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ප්‍රධාන වශයෙන්ම වීගන් ආහාර රටාව යන්නෙන් අදහස් කරන්නේ ශාක මත පදනම් වූ ආහාර පමණක් ආහාරයට එකතු කරගැනීමයි. මෙහිදී ආහාර වේලට ධාන්‍ය වර්ග, එළවලු, පලතුරු සහ පැස්ටා වැනි දේ අන්තර්ගත වේ. 

  • වෙජිටරියන් හෝ වීගන් ආහාර රටාව සමග බොහෝ පුද්ගලයන්ට ඇති ප්‍රධානම ගැටලුව පෝෂණ අවශ්‍යතා සපුරාලීමයි. වීගන් ආහාර රටාවට යොමු වීම තුලින් මාංශ අඩංගු ආහාර වේලකට සමාන පෝෂණ අවශ්‍යතාවක් සපුරා ගැනීමේ අවස්ථාව තිබේද? 

ඒ සඳහා සතුටුදායක පිළිතුරක් දෙන්න පුළුවන්. ඇත්තෙන්ම වීගන් හෝ වෙජිටරියන් ආහාර රටාවක් අනුගමනය කරන පුද්ගලයෙකුට තම පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් ඇත. නමුත් එය තීරණය වෙන්නේ ඔබ එය සිදු කරන ආකාරය අනුවයි. ඔබ නිවැරදිව ආහාර රටාව අනුගමනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය පෝෂණ අවශ්‍යතාව සපුරා ගත හැකිවන අතරම ශාක මත පදනම් වූ ආහාර රටාවක් තුලින් ලබාගත හැකි අනෙකුත් අමතර ප්‍රතිලාභ වලටද හිමිකම් කිව හැකිය. එසේම ඔබ නිවැරදි ලෙස ආහාර රටාවට යොමු නොවුනහොත් එය ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කිරීමේ අවධානමක්ද පවතින බව මතක තබා ගත යුතුය.

  • නිවැරදි ලෙස ආහාර රටාවට යොමු නොවුනහොත් හෝ ඒ පිලිබඳ දැනුවත්භාවය නොමැති වීම තුලින් ඔවුන්ට ඇතිවන අවධානම් හෝ අභියෝග මොනවාද?

ප්‍රධාන වශයෙන්ම එම පුද්ගලයාට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් නොලැබී යාමේ අවධානමට ලක් විය හැක. විශේෂයෙන් ප්‍රෝටීන් ආහාරයට එකතු කරගැනීම වැදගත් වේ. එසේම, විටමින් සහ ඛනිජ ලවණ යටතට අයත් වන විටමින් D, විටමින් B12, යකඩ, ඔමෙගා 3, සින්ක්, කැල්සියම්, අයඩින්, සෙලේනියම් සහිත මුලාශ්‍ර ආහාරයට එකතු කරගැනීම පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත් කරුණකි.   

  • අපට අවශ්‍ය සියලු පෝෂණ කොටස් නිවැරදිව සපුරා ගන්නේද යන්න දැනගත හැක්කේ කෙසේද? 

ප්‍රයෝගික ක්‍රමය වන්නේ මෙම සියලු පෝෂණ කොටස් අන්තර්ගත ආහාර වර්ග නිතර තම ආහාර වේලට එකතු කරගැනීමට වග බලා ගැනීමයි. එසේ නැතහොත්, ඔබේ ශරීරයෙන් ඔබට ලබාදෙන සලකුණු සහ පණිවිඩ ඔස්සේ ඔබේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම පිලිබඳ යම් අවබෝධයක් ලබා ගත හැක. උදාහරණයක් ලෙස විඩාව සහ තෙහෙට්ටුව වැනි ලක්ෂණ තුලින් ඔබේ පෝෂණ අවශ්‍යතාවයේ හිඟ කමක් දක්වනවා විය හැක. එවැනි අවස්ථා වල එය පරීක්ෂා කිරීමක් සිදු කරගත හැක. ඒ සඳහා රුධිර පරික්ෂාවක් කරගත හැකිය. නමුත් ඔබට රෝග ලක්ෂණයක් හෝ ශරීරයේ දුර්වලතාවයක් නොමැතිව නිතර රුධිර පරීක්ෂාවන් කරගැනීම අවශ්‍ය නොවේ. එසේම යකඩ, විටමින් D12, විටමින් D පරීක්ෂාවන් ද ඔබට අවශ්‍ය පෝෂණ කොටස් නිවැරදිව ලැබෙනවද යන්න මැන ගත හැකි මිනුම් දර්ශකයන්ය. 

  • මෙම අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ශරීරයට ලබාගත හැකි ශාකමය ආහාර වර්ග මොනවාද?

විටමින් B12 සහිත ශක්තිජනක කිරි සහ යීස්ට් සාරය දිනකට වරක් හෝ දෙවරක් ආහාරයට එකතු කරගැනීම, B12 අඩංගු ආහාර අතිරේකයක් ලබා ගැනීම. විටමින් B12, විටමින් D, සෙලිනියම් සහ අයඩින් අඩංගු මල්ටිවිටමින් වර්ගයක් ලබා ගැනීම තුලින් එදිනෙදා අවශ්‍ය පෝෂණ කොටස් පසුවෙන් සපුරා ගනිමින් ශාකමය ආහාර රටාවක් ගත කිරීමට හැකියාව ඇත.

  • මස් මාංශ ආහාරයට ගත් යම් පුද්ගලයෙකුට ශාකමය ආහාර රටාවකට පරිවර්තනය වීමට අවශ්‍ය නම් එයට ක්ෂණිකව පරිවර්තනය වීම සුදුසුද? එසේ නැත්නම් එසේ පරිවර්තනය වීමට සුදුසුම ක්‍රමය කුමක්ද? 

ආවේගශීලී පරිවර්තනයකට වඩා ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වීම වඩාත් යෝග්‍ය වේ. ඔබ කලින් මාංශ ආහාරය ගත් පුද්ගලයෙක් නම් ඔබේ ශාකමය ආහාර පරිභෝජනය දුර්වල මට්ටමක තිබිය හැකිය. එවිට ක්‍රමයෙන් ශාකමය ආහාර වැඩි වැඩියෙන් ආහාරයට එකතු කරගැනීම තුලින් මාංශ ආහාර ක්‍රමානුකූලව අඩු කරමින් ශරීරයට එම වෙනසට පරිවර්තනය වීමට කාලය ලබා දීම තුලින් තිරසාර ලෙස එසේ නැත්නම් දීර්ඝ කාලීනව එම ආහාර රටාව අනුගමනය කිරීමට පහසු වන අතර එය ඔබේ සාමාන්‍ය ජීවන රටාව බවට පත් වනු ඇත. එසේ නොවී ක්ෂණිකව එක් ආහාර රටාවකින් තවත් ආහාර රටාවකට මාරු වීමේදී ටික කාලයකින් එය අපහසු වී  අතරමග නතර කිරීමට සිදු විය හැක.  

  • “Meatless Monday” ව්‍යාපෘතියෙහි අභිප්‍රාය වනුයේ එම තිරසාර පරිවර්තනයට සහයෝගය ලබාදීමයි. වර්තමානයේ ඇතිවී තිබෙන කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයට ලක් වී ඇති අතර සාමාන්‍යයෙන් සපයාගත් ආහාර වර්ග සපයා ගැනීම සීමා වී ඇත. මෙම තත්වය වීගන් හෝ වෙජිටරියන් ආහාර රටාවට බලපාන්නේ කෙසේද?

අනෙක් ආහාර රටාවන් අනුගමනය කරන පුද්ගලයන්ට වඩා ශාකමය ආහාර වලට හුරු වුන පුද්ගලයන්ට මෙම සීමාවන්ට මුහුණ දීම පහසුයි. ශාක මත පදනම් වූ ආහාර ඝනයට අයත් වන ධාන්‍ය, පැස්ටා වැනි ආහාර වර්ග වැඩි කාලයක් ගබඩා කර තබා ගත හැකි නිසා ඔවුන්ට ආහාර සපයා ගැනීම යම්තාක් දුරකට පහසු වනු ඇත. 

එසේම අනෙකුත් එළවලු, පලතුරු සහ පලා වර්ග තම ගෙවත්තේ වවා ගැනීම සහ ඒවා ආහාරයට එකතු කරගැනීම තුලින් පෝෂ්‍යදායී සම්පුර්ණ ආහාර වේලක් භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාව සලසා ගත හැක. තමාගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර භෝග ගෙවත්තේ වගා කරගැනීම ඉතාමත් වටිනා ක්‍රියාවක්. ඔබ උදැසන හිරුඑළියේ ගෙවතු වගාවට යොමු වෙනවා නම් අතිරේක වාසියක් ලෙස ඔබට අවශ්‍ය විටමින් D සපුරා ගැනීමටද හැකියාවක් ලැබේ. 

  • කුඩා දරුවන් අතර මේ ශාකමය ආහාර රටාවන් කෙරෙහි නැඹුරුවක් ඇතිවී තිබෙනවා. විශේෂයෙන්ම දෙමාපියන්ට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සැපිරීම සහ එහි යෝග්‍යතාව පිලිබඳ යම් ගැටලුකාරී ස්වභාවයක් ඇති විය හැක. එසේ පාසල් යන වයසේ පසුවන දරුවන් ශාකමය ආහාර රටාවකට හුරුවීමට කැමැත්තක් ඇති නම් එය සුදුසුද?       

ළමයින්ට ශාකමය ආහාර රටාවක් අනුගමනය කිරීමට කැමැත්තක් සහ පෙළඹීමක් ඇති නම් එවැනි ආහාර රටාවට යොමු වීමේ කිසිඳු ගැටළුවක් නැහැ. ඒ පිළිබඳව ඔවුන්ට බලපෑම් කිරීම සහ විරුද්ධ වීමට වඩා දෙමව්පියන් වශයෙන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සහ සමබර පෝෂණය පිලිබඳ දැනුවත් කිරීමත් එයට සහයෝගය දැක්වීමත් ඉතාමත් වැදගත් වේ. මක් නිසාද යත්, වැඩෙන වයසේ දරුවන්ට ඉහල පෝෂණ අවශ්‍යතාවයක් පවතින බැවිනි. ආහාර වේලට එකතු කරගත යුතු ආහාර වර්ග පිලිබඳ දැනුවත් වීම තුලින් පෝෂණීය ශාකමය ආහාර වේලක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

වීගන් සමාජය සහ බ්‍රිතාන්‍ය ආහාරවේදීන්ගේ සංගමය අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් පවතින අතර ඔවුන්ගේ විශ්වාසය නම් ශාකමය ආහාර රටාවක් අනුගමනය කිරීම තුලින් ඕනෑම ජීවන අවධියක පසුවන පුද්ගලයෙකුට අවශ්‍ය සියලු පෝෂණ කොටස් සපුරා ගත හැකි බවයි. එනිසා දරුවන්ට එය අත්හදා බැලීමට ඉඩදීම යෝග්‍ය වන අතර දෙමව්පියන් වශයෙන් ඔවුන්ට අවශ්‍ය පෝෂණ කොටස් සපුරාලීමට වග බල ගත යුතුය. දරුවාගේ පෝෂණ අවශ්‍යතාව පිලිබඳ දැනුවත් වීම සහ විකල්ප හඳුනාගැනීම තුලින් දරුවාට ලබා දිය යුතු ආහාර පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. මේ අවස්ථාවේදී ආහාරවේදී සහ පෝෂණවේදී මාර්ගෝපදේශය ලැබීම වඩා යෝග්‍ය වේ.             

  • ශ්‍රී ලංකාව දෙස බැලීමේදී, ශාක මත පදනම් වූ ආහාර රටාවකට හුරු වීම කෙතරම් පහසුද? ආහාරවේදියෙකු සහ පෝෂණවේදියෙකු ලෙස ඔබේ අදහස.

ශ්‍රී ලංකාව තුල ශාක මත පදනම් වූ ආහාර රටාවකට යොමු වීම ඉතාම පහසු කාර්යයක්. අනෙක් රටවල් වලට සාපේක්ෂව අප රට තුල විශාල ආහාර තේරීම් ප්‍රමාණයක් දැකිය හැක. දේශීය ආහාර වර්ග වල ඇති පෝෂණ ගුණය ගණනය කල නොහැකි තරම් විශාලයි. සමහර ආහාර බෝග වල වර්ගීකරණයන් විශාල ප්‍රමාණයක් පවතී. ශ්‍රී ලංකික ආහාර රටාව තුල වීගන් හෝ වෙජිටරියන් නොවුනත් ආහාර බෝග සුලබ වීම සහ එහි පහසුව නිසා නොදැනුවත්වම ශාකමය ආහාර රටාවන්ට යොමු වන අවස්ථා බොහොමයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කැවිලි බොහොමයක් වීගන් වීම සුවිශේෂත්වයක් වන අතර එවැනි රටක ජීවත් වීමට ලැබීමද භාග්‍යයක් ලෙස සැලකිය හැකියි.

  • ශාකමය ආහාර රටාවක් තිරසාර ලෙස එසේ නැත්නම් දීර්ඝ කාලීනව අනුගමනය කිරීම යථාර්තයක් ලෙස ඔබ සිතනවාද?

ඔබ ආහාරයට එකතු කරගන්න ආහාර පිළිබඳව අවබෝධයක් ඇත්නම් සහ ඔබ විසින් විවිධ වර්ගයේ ආහාර වර්ග පරිබෝජනයට එකතු කරගන්නේ නම් එය අනිවාර්යයෙන්ම දීර්ඝකාලීනව අනුගමනය කල හැකියි. අපේ රට තුල එක් ආහාර වර්ගයක විශේෂයන් විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර ඒවා පිළියෙළ කරගත හැකි ආහාර වට්ටෝරුද විශාල ප්‍රමාණයක් ඇත. උදාහරණයක් ලෙස ව්‍යංජනයක් ලෙස මිරිසට, කිරට, තෙලට, තැම්බීම, ගැඹුරු තෙලේ බැදීම වැනි විවිධාකාරයෙන් ආහාරයට එකතු කරගැනීමේ අවස්ථා ඇත. එවිට සාමාන්‍ය බත් සහ ව්‍යංජන වුවත් පීඩාවකින් සහ ආයාසයකින් තොරව ආහාරයට ගැනීමට හැකි වේ. එසේ නිවැරදිව ශාකමය ආහාර රටාවකට හුරු වීමෙන් අවශ්‍ය පෝෂණ කොටස් සහ අනෙකුත් සෞඛ්‍යමය වාසි ලඟා කරගත හැකිය.

  • වීගන් හෝ වෙජිටේරියන් ආහාර රටාවක් අනුගමනය කරන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ප්‍රෝටීන් සහ මාංශ වලට විකල්ප දුලබ නිසා බොහෝවිට සෝයා ආශ්‍රිත ආහාර වර්ග වැඩි වශයෙන් ආහාර වේලට එකතු කරගැනීමට පෙළඹේ. උදාහරණ ලෙස සෝයාමීට්, ටෝෆු, සෝයා කිරි වැඩි වශයෙන් ආහාරයට ගනී. මෙසේ සෝයා වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසුද?  

සෝයා ආහාරයට ගැනීමේ හොඳ මෙන්ම නරක පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වන නමුත් සෝයා යනු ඉතාමත් පෝෂණීය ආහාරයකි. ඔබ වීගන් හෝ වෙජිටේරියන් නම් සෝයා යනු ඔබේ ආහාරයට එකතු කරගත යුතු පෝෂ්‍යදායී ආහාර වර්ගයකි. මගේ මතයට අනුව ඔබට සුවිශේෂී සෞඛ්‍යමය තත්වයක් හෝ ගැටළුවක් නැත්නම් සෝයා ආහාරයට එකතු කරගැනීමේ පොදු ගැටළුවක් නැති බවයි. ඔබ සෝයා ආහාර වලට වැඩි කැමැත්තක් දක්වනවා නම් ඕනෑම සෝයා ආහාර වර්ගයක් ඔබේ ආහාරයට එකතු කරගත හැකියි. නමුත් ඔබ සෝයා ආහාර වලට එතරම් ප්‍රිය නැත්නම් ඔබට වෙනත් විකල්ප ආහාරයකට යාමේ කිසිඳු ගැටළුවක් නැත. 

  • “බුද්ධිමත් ආහාර පරිභෝජනය (intuitive eating)” යන සංකල්පය කුමක්ද? එහි යෝග්‍යතාව කෙසේද?

බුද්ධිමත් ආහාර පරිභෝජනය යනු තම ශරීරයේ අවශ්‍යතාවන් අවබෝධ කරගෙන ආහාර පරිභෝජනය කිරීමයි. එය අවබෝධයෙන් යුතුව සහ සමබර ලෙස ප්‍රගුණ කිරීම වඩා යෝග්‍යයි. එසේ නැතිවුවහොත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් පෝෂණය ලැබීම සිදු විය හැකිය. සමබරතාව පවත්වාගෙන යාම ඉතා වැදගත්.

  • අපට විවිධ මූලාශ්‍රයන් තුලින් දිනපතා විවිධ ආහාර නිර්දේශයන් සහ ප්‍රමාණයන් දක්නට ලැබේ. එම නිර්දේශයන් සෑම පුද්ගලයෙකුටම යෝග්‍යද? එවැනි තොරතුරු මත පමණක් පදනම්ව තම ආහාර රටාව තීරණය කිරීම උචිතද?                   

මේ හා සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයන් සුලබයි. බොහෝ පුද්ගලයන් පෝෂණය යන්න සාමාන්‍ය සහ සැමට පොදු දෙයක් ලෙස අවබෝධ කරගෙන සිටී. නමුත් එය එසේ නොවේ. ඔබ යම් මූලාශ්‍ර තුලින් තොරතුරු ලබන්නේ නම් එහි නිරවද්‍යතාව සහ විශ්වසනීය බව පිලිබඳ සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් ලෙස සුදුසුකම් සහ පළපුරුද්ද සහිත පෝෂණවේදීන්, ආහාරවේදීන් සහ පිළිගත් ආයතන විසින් පලකරන තොරතුරු පමණක් පරිශීලනය කිරීම යෝග්‍ය වේ. එක පුද්ගලයෙකුට ගැලපෙන ආහාර වර්ග සහ ප්‍රමාණය තවත් පුද්ගලයෙකුට එලෙසම නොගැලපෙන අතර එය එක් එක් පුද්ගලයාගේ කායික ලක්ෂණ සහ හැසිරීම් මත වෙනස් වේ.    

වීගන්, නිර්මාංශ(වෙජිටේරියන්) හෝ ඕනෑම ආහාර රටාවක් අනුගමනය කරන පුද්ගලයෙකුට ඉතාමත් වැදගත් කරුණු  බොහොමයක් මෙම සාකච්චාව තුල කතාබහට ලක් වුන අතර එමගින් බොහෝ පුද්ගලයන්ට සුලබව ඇති ගැටළු කිහිපයක් විසඳා ගැනීමටද හැකි විය. මෙවැනි වටිනා උපදේශනයක් ලබාදීම පිලිබඳ පෝෂණවේදී සහ ආහාරවේදී ලසිකා ජයමහ මෙනවිය කෙරෙහි “Meatless Monday” කණ්ඩායමෙහි ඉමහත් ස්තුතිය පළ කරන අතර ඉදිරිදිනක තවත් මෙවැනි හරවත් කතාබහක් තුලින් වීගන් ආහාර රටාව අනුගමනය කරන සහ ඒ කෙරෙහි ඇල්මක් ඇති පුද්ගලයන් දැනුවත් කිරීමට අප කණ්ඩායම අපේක්ෂා කරන්නෙමු.     

අවසාන වශයෙන් මෙම කතාබහේදී ඉස්මතු වූ වැකියක් තුලින් ශාක පදනම් කරගත් ආහාර සහ පෝෂණය යන තේමාව සංක්ෂිප්ත කරන්නෙමු. “එක් ප්‍රමාණයක් සියල්ලන්ටම නොගැලපේ”. එනම් අප ගන්නා ආහාර වර්ග සහ ප්‍රමාණ සැමටම එක සමාන නොවන අතර එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. ඒ පිලිබඳ අවබෝධයකින් ඕනෑම ආහාර රටාවක් අනුගමනය කිරීම තුලින් පරිසරයට සහ සතුන්ට කාරුණික වන අතරතුර තමාටද  නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසේ.

සටහන: චලනි මාරසිංහ