සූර්ය තාපය මගින් අප ජීවත්වන පෘථිවිය උණුසුම් වන බව සැවොම දන්නා කරුණක් වන අතර ජීවීන්ගේ පැවැත්මට සූර්ය ශක්තිය අත්‍යවශ්‍යම සාධකයකි. පෘතුවිය වෙත පතිත වන සූර්ය කිරණයන්ගෙන් 90% ක්ම නැවත වායු ගෝලය වෙත පරාවර්තනය වේ. හරිතාගාර වායු එනම් කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NO3), ඕසෝන් (O3), මීතේන් (CH4), ජල වාෂ්ප (H2O) සහ ක්ලෝරො ෆ්ලොරො කාබන් (CFC) වලට මෙම පරාවර්තනය වන සූර්ය කිරණ ග්‍රහණය කරගැනීමේ හැකියාවක් පවතින අතර පෘථිවිය ආසන්න වායු ගෝලයේ හරිතාගාර වායුව ඉහල යාම මගින් පරාවර්තනය වන සූර්ය කිරණ වැඩි ප්‍රමාණයක් ඉහල වායු ගෝලයට පරාවර්තනය නොවී පහල වායු ගෝලය තුල රැදී පවතින අතර එමගින් පහල වායු ගෝලය සහ පෘථිවියේ මතුපිට උෂ්ණත්වය ඉහල යාමට හේතු වේ.  වන විනාශය, ෆොසිල් ඉන්ධන දහනය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම හරිතාගාර වායු විශාල වශයෙන් ඉහල යමින් පවතින අතර මෙය ජීවී පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කරමින් පවතී. වනාන්තර, කාන්තාර, උෂ්ණ කලාප, දූපත්, ධ්‍රැව, කඳු පද්ධති, තෙත් බිම්, වගුරු, වෙරළාශ්‍රිත වගුරුබිම් සහ කොරල් යන පරිසර පද්ධති වඩාත්ම අවධානම් කලාප වන අතර උෂ්ණත්වය මෙන්ම වර්ෂාපතනය, වලාකුළු, දේශගුණික විපර්යාස  මගින් මෙම පරිසර පද්ධති විශාල වශයෙන් අවධානමට ලක් වී ඇත. විශේෂයෙන්ම මෙම ලිපිය මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ගෝලීය උෂ්ණත්වයෙහි බලපෑම සාකච්චා කරන අතර ආහාර සුරක්ෂිතතාව මේ වන විට ලෝකයෙහි වඩාත් අවධානය යොමු වී ඇති මාතෘකාවකි. තිරසාර සංවර්ධන ඉලක්කයන් තුලද අන්තර්ගත වන කුසගින්න නැති කිරීම සහ තිරසාර පරිභෝජනය යන අංශ මගින් ගෝලීය ප්‍රජාව දැනටමත්  මුහුණ දෙමින් පවතින ආහාර අර්බුධය පෙන්නුම් කරනු ලබයි. 

  • ආහාර දාම මත පදනම් වූ පරිභෝජන රටාව

පෘථිවි ගෝලය තුල ආහාර පද්ධතිය, ආහාර දාමයන් මත ගොඩනැගී ඇත. ආහාර දාමයක් යනු එක් ජීවියෙකු තවත් ජීවියෙකු ආහාරයට ගන්නා විට පෝෂ්‍ය පදාර්ථ හා ශක්තිය ජීවීන් අතර ගමන් ගන්නා ආකාරය දක්වන රේඛීය අනුක්‍රමයකි. ගෝලීය ආහාර පද්ධතිය මෙවැනි ආහාර දාම සමුහයකින් බැඳි ආහාර ජාලයකි.  ආහාර දාමයන්  පිළිබඳව සැලකීමේදී සෑම ආහාර දාමයක්ම ශාක මත පදනම්ව ක්‍රියාත්මක වේ. එනම් ගෝලීය ආහාර පද්ධතිය තුල සෑම විටම ආරම්භය එසේ නැත්නම් නිශ්පාදකයා ශාකයකි. එම ශාකමය ආහාරය මත පදනම්ව ශාකභාක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක පරිභෝජකයන් නිර්මාණය වේ. ආහාර දාමයේ පාමුල ප්‍රාථමික නිෂ්පාදකයින් සිටී. ප්‍රාථමික නිෂ්පාදකයින් බොහෝ විට ශාක, ඇල්ගී හෝ සයනොබැක්ටීරියා වැනි ප්‍රභාසංස්ලේෂක ජීවීන් වේ. ප්‍රාථමික නිෂ්පාදකයින් අනුභව කරන ජීවීන් ප්‍රාථමික පරිභෝජකයන් ලෙස හඳුන්වන අතර මෙම ජීවීන් සාමාන්‍යයෙන් ශාක භක්ෂකයන් වේ. ප්‍රාථමික පරිභෝජකයන් අනුභව කරන ජීවීන් ද්විතීයික පරිභෝජකයන් ලෙස හඳුන්වන අතර මෙම ජීවීන් මාංශ භක්ෂකයින් වේ. ද්විතියික පරිභෝජකයන් අනුභව කරන ජීවීන් තෘතියික පරිභෝජකයන් ලෙස හැඳින්වේ. මොවුන් රාජාලීන් හෝ විශාල මාළු වැනි මාංශ භක්ෂකයින් ආහාරයට ගන්නා මාංශ භක්ෂකයින් වේ. සමහර ආහාර දාමයන්හි අතිරේක මට්ටම් ඇත, එනම් චතුර්ථක පරිභෝජකයන් වන තෘතීයික පරිභෝජකයන් අනුභව කරන මාංශ භක්ෂකයින්ය. 

එක් ජීවියෙකු තවත් ජීවියෙකු අනුභව කර එම ජීවී ශරීරයෙන් ශක්තිය ලබා ගැනීම ආහාර දාමයෙදී සිදුවන අතර සාමාන්‍යයෙන් එක ජීවියෙකුගේ ශක්ති ප්‍රමාණයන්ගෙන් 10% ක ප්‍රමාණයක් පමණක් අනෙක් ජීවියාට ගමන් කරයි. එම නිසා දිගු ආහාර දාමයන් වල ශක්තීන් සම්ප්‍රේෂණය අකාර්යක්ෂම වේ.  මේ අනුව ප්‍රාථමික නිශ්පාදකයා තුල කිලෝ කැලරි 10000ක ශක්තියක් අන්තර්ගතව තිබුනේ නම් ප්‍රාථමික පරිභෝජකයාට කිලෝ කැලරි 1000ක්, ද්වීතික පරිභෝජකයාට කිලෝ කැලරි 100 ක්ද ගමන් කරයි. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් ශාකමය ආහාර තුල ඉතා ඉහල ශක්තියක් ගැබ් වී ඇති බවයි. එබැවින් නිර්මාංශ ආහාර වලට වැඩිපුර නැඹුරු වීම තුලින් වැඩි ශක්තියක් ශරීරයට ලැබෙන අතර අප “නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය” මගින් ප්‍රවර්ධනය කරනු ලබන මාංශ අනුභවය අඩු කිරීම කෙරෙහි උත්තේජනයක් මෙමගින් පැහැදිලි කරනු ඇත.  

  • ආහාර දාමයන් කෙරෙහි ගෝලීය උෂ්ණත්වය ඉහල යාම බලපාන ආකාරය   

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩිම අවධානමකට මුහුණ දෙන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය හඳුනා ගත හැක. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ඍජුවම ශාක වර්ධනය කෙරෙහි බලපාන අතර මේ හේතුවෙන් 10-50% ත් අතර ශාක වර්ධනයේ අඩුවීමක් දක්නට ඇති බව වාර්තා වේ. උෂ්ණත්වයේ ඉහල යාම මගින් ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන තෙතමනය, ජලය සීමා වන අතර එමගින් පසෙහි සාරවත් බව අඩුවීම ඇතිවී ශාක වර්ධනය අඩාල වේ. මීට අමතරව ගංවතුර, නියඟ, නායයාම් සහ සුනාමි වැනි ස්වභාවික විපත් හේතුවෙන් ද ප්‍රාථමික නිෂ්පාදනය අඩු වේ. එසේ ලෝකය තුල පවතින ශාකමය ආහාර වල අඩුවීමක් ඇති වුවහොත් එය ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක සියලු ජීවීන්ගේ පැවැත්මට ඍජු බලපෑමක් එල්ල කරනු ලබයි. මක්නිසාද යත්, ප්‍රාථමික නිෂ්පාදකයන් වන ශාක නොමැති විට ශාක භාක්ෂකයන්ගේ වර්ධනය සීමා වන අතර, ශාක භක්ෂකයන් අඩු වන විට මාංශ භාක්ෂකයන්ගේ වර්ධනය සීමා වේ. 

අවසානයේදී අවධාරණය කරගත යුතු කරුණක් වන්නේ, කුමන ආහාර රටාවක් අනුගමනය කලද සැමවිටම අප ශාකමය නිෂ්පාදයකුගෙන් ආරම්භ වන ආහාර දාමයක එක් පුරුකක් බවයි. එබැවින්, තිරසාර පරිභෝජන රටාවක් කරා යන ගමනේදී ශාකමය නිෂ්පාදකයන්  වර්ධනය කිරීම ගෝලීය ආහාර පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා වඩාත් වැදගත් වේ. කෘෂිකර්මාන්තය සහ ගෙවතු වගාව ප්‍රවර්ධනය ඒ සඳහා විශාල දායකත්වයක් සපයනු ලබයි. එමගින් ඇති වනු ලබන ආහාර දාම මගින් විශාල ජීවීන් ප්‍රමාණයක් යැපෙනු ලබන අතර ගෝලීය ආහාර සැපයුම ඉහල නැංවීමටද දායක වේ. අවසන් වශයෙන්, පෘථිවිය තුල ජීවත් වන සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු වන තිරසාර ආහාර පරිභෝජන රටාවකට හුරු වීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.