වියට්නාම  IOGT සහ වියට්නාම බෞද්ධ සංඝ ආයතනයේ සහයෝගීතාවෙන් යුතුව ජාත්‍යන්තර මානව සමාජය විසින් සංවිධාන කොට වියට්නාමයේ හැනෝයිහි දී පවත්වන ලද  ර්‍ “Mindful Eating” සම්මන්ත‍්‍රණය සඳහා SLYCAN අරමුදල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි විය. මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, භූතානයේ  Jangsem Monday ලෙසින් කි‍්‍රයාත්මක  Meatless Monday  වැඩපිළිවෙළෙහි නිර්මාතෘ කෙන්පෝ වැන්ග්චක්, කර්ම ඩෙන්ඩප් සහ ජාත්‍යන්තර මානව සමාජය – ගොවිපළ සත්වයන් පිළිබඳ ආසියා පැසිෆික් කලාපයීය වැඩසටහනේ කළමනාකාර රොබට් ලූසියස් යන අයයි. මෙම සම්මන්ත‍්‍රණයේදී, මෑතකදී මෙරට තුළ ආරම්භ කරන ලද  Meatless Monday  වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු දැක්වීමට SLYCAN අරමුදලේ කවිඳු එදිරිවීරට අවස්ථාව හිමිවිය.


ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී කරුණු දක්වා සිටියේ මාංශ නිෂ්පාදනය වෙනුවෙන්, අභිජනන කාර්යය පෝෂණය කිරීම සඳහා ජාන වෙනස් කරන ලද ඉහළ කැලරි ප‍්‍රමාණයක් අන්තර්ගත නිර්මාංශ ආහාර නාස්තිය සිදුවන ආකාරය පිළිබඳවය. උන්වහන්සේගේ තර්කය වූයේ දහස් ගණන් ජනයා පෝෂදායී දෙයින් පෝෂණය කිරීම මගින් මාංශ සැපයුම අවම කොට, කාබන් විමෝචනය අඩු කිරීමට ද දායක විය හැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මිනිසා ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු බවය. ජීවත්වීමේදී අනුගමනය කළයුතු විෂ රහිත කෘෂිකාර්මික සංකල්ප සහ ස්ථිරසාර ක‍්‍රම වැඩි වශයෙන් හඳුන්වා දීමෙන් වඩාත් අපේක්ෂිත ආකාරයේ සෞඛ්‍යසම්පන්න පරිසර හිතකාමී පද්ධතියක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එහිදී පෙන්වා දුන්හ. එ් සඳහා වන පුද්ගලික මන්ත‍්‍රී පනත් කෙටුම්පතක් ද 2009 වසරේදී රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. 
මෙම සම්මන්ත‍්‍රණය SLYCAN අරමුදලට වඩාත් වැදගත් අවස්ථාවක් බවට පත්විය. එ් මෑතකදී ආරම්භ කරන ලද  Meatless Monday වැඩපිළිවෙළ පිළිබඳ ආයතනික මට්ටමෙන් වඩාත් හොඳ ඉදිරි දර්ශනයක් සැපයීම සඳහායි. 


SLYCAN අරමුදල නියෝජනය කරමින් සම්මන්ත‍්‍රණයට සහභාගි වූ කවිඳු එදිරිවීර අදහස් දක්වමින් මෙසේ පැවැසීය. ”විවිධ රටවල්  Meatless Monday වැඩසටහන විවිධ අයුරින් කි‍්‍රයාත්මක කරනු දැකීම සිත්ඇදගන්නාසුළු කරුණක්. එමෙන්ම ඔවුන් එමගින් මෙහි අරමුණු සාක්ෂාත් කරගන්නා ආකාරයත් දැකගන්න පුළුවන්. ශ‍්‍රී ලංකාව තුළ අප විසින් කි‍්‍රයාත්මක කර ඇති මෙම ව්‍යාපාරය අලූත් දෙයක්. එ් වගේම ඉදිරි කාලයේදී එහි සාර්ථක ප‍්‍රතිඵල අත්විඳින්නට අපිට හැකිවනු නොඅනුමානයි”.


මෙහිදී කථිකයන් මූලිකවම අවධානය යොමුකර තිබුණේ ‘බෞද්ධ දර්ශනය සහ පාරිසරික ආරක්ෂණය’ පිළිබඳව ය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ පරිසර හිතවාදී ජීවන දර්ශනයෙහි ඉගැන්වීම පිළිබඳවය. මානව වර්ගයා පළමුවෙන්ම මිහිකත මාතාවට, සූර්යයාට මෙන්ම මුළුමහත් විශ්වයටත් දෙවනුව, අප වටා ඇති පරිසරය, ආදි මුතුන් මිත්තන් හා අප වෙසෙන සමාජයටත් කළගුණ සැළකිය යුතු බවට ද මෙහිදී අවධාරණය කෙරිණ.
”හේතුවක් ඇතිව හෝ සවිඥනිකව සිතන්නට සතුන්ට හැකියාවක් නෑ. මිනිසුන් වන අප උසස් බුද්ධියකින් යුතු අයයි. බොහෝ බටහිර දාර්ශනිකයන් නිරන්තරයෙන් අවධාරණය කර ඇත්තේ අප විසින් සදාචාරාත්මක බැඳීම්වලින් තොර වී සත්වයන්ට හානි නොකළ යුතු බවත් ඔවුන්ට සැළකිය යුත්තේ මිනිසුන් ලෙස බවයි” යැයි ජාත්‍යන්තර මානව සමාජයේ – ගොවිපළ සත්වයන් පිළිබඳ ආසියානු පැසිෆික් වැඩසටහනේ කළමනාකාර රොබට් ලූසියස් ය. සත්වයන් අපගෙන් වෙනස් නොවන බවත් ඔවුන්ගේ අභිජනන කි‍්‍රයාවලිය පමණක් වෙනස් බවත් ඔහු එහිදී සඳහන් කළේය. 


කථිකයන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නවීන තාක්ෂණය, වඩාත් හොඳ යහපත් දේ සඳහා මිස වත්මන් පරිසරය ද විනාශ කර දැමීමට යොදා නොගත යුතු බවයි. එමෙන්ම පරිසරය ආරක්ෂා කිරීමේ කාර්යයේදී කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නොතැබිය යුතු බවට ද ඔවුහු මෙහිදී අවධාරණය කළහ. විශේෂයෙන්ම නවීන සමාජ ක‍්‍රමය තුළ සිදුවන වන විනාශය හා කාර්මීකරණය හේතුවෙන් ලෝකය වෙත එල්ල කරන හානිකර බලපෑම පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවට ද මෙහිදී පෙන්වා දුනි. 
සත්ව නිෂ්පාදන පරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව මුළාකරන ආකාරය පිළිබඳ ලූයිසියස් මහතා මෙහිදී පැහැදිලි කිරීමක් කළේය. උදාහරණයක් ලෙස උපුටා දක්වමින් ඔහු පැවසුවේ කර්මාන්ත සම්බන්ධ වෙනත් සාධක නොසළකා හරිමින් ලාබ පමණක් අරමුණු කොටගැනීමේ පද්ධති වෙනසට කාර්මික විප්ලවය වගකිව යුතු බවයි. එහිදී සෙසු ජානමය වෙනස්කම් කිරීමේ වැරදි සහගත දේ අතර සත්ව ඝාතනය තෙක් රෝග බෝවීම වැළැක්විම සඳහා සතුන්ගේ ස්වභාවික හැසිරීම වැළැක්වීමට රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීම ද සිදුවන බව ඔහු පවසා තිබුණි.