සෞභාග්‍යා ගෙවත්තක් හදාගමු

මුළු ලොවම පසුකරමින් සිටිනුයේ දුෂ්කර කාලවකවානුවකි. මෙයට පෙර විවිධ වසංගත රෝ බිය කොතරම් පැතිර ගියද, මිනිසුන්තුළ විශ්වාසය පැළපදියම්වීම ඉතා කෙටි කලක් තුළ සිදුවිය. 

එසේත් නොමැති නම් ලෝකයේ ඇතැම් වසංගත හෝ ලෝක යුද්ධ මුළු ලොවටම බලපෑමක් වන තරමට ළගාවීමට පෙර නිමාවට පත්විය. කොවිඩ්-19 වසංගතය ඒ සියල්ල අභිබවා යමින් මුළු ලොවම මොහොතකට සොලවා අතහැර තිබේ. 

නිශ්චිත ලෙස රෝගයට ප්‍රතිකාර හමුවීම ප්‍රමාද වීම, එය නිර්මාණය වුයේ කෙලෙසදැයි නිවැරදි තොරතුරක් නොවීම වැනි විවිධ පරාසයන් ඔස්සේ කොවිඩ්-19 ලිහාගැනීමට නොහැකි අර්බුධයක් වී තිබේ. 

නමුත් බැලූ බැල්මටම මෙම වසංගතය ඔස්සේ සිදුවූයේ ඔබ අප කතාකරමින් සිටි මාතෘකාවකටම අදාල සන්සිද්ධීන්ය. දේශගුණ විපර්යාස අවම කරගැනීම සදහා මුළු ලොවම ප්‍රතිපත්ති සකස් කරමින් සිටියේද, ඇතැම් ප්‍රතිපත්ති රටවල් මට්ටමෙන් තිරසර සංවර්ධන ඉලක්ක දක්වා මෙහෙයවමින් සිටියේද ස්වභාවධර්මයට වැඩි අවධානමක් යොමු කළ යුතු බව පසක් කරමිනි.

කොවිඩ්-19 අපට දැන් උගන්වා ඇති පාඩමත් එයමය. වෙනදා සත්තු කූඩු කරමින්, ඔවුන්ගේ නිදහස අහිමිකොට ඔවුන්ව මරාගෙන කෑමට පුරුදුවු මිනිසුන්ටම, සත්තු නිරුපද්‍රිතව පරිසරයේ සිටියදී ගෙවල්වලට හිර වී අගුලු දාගෙන නිරෝධායනයට ලක්වීමට සිදුව තිබේ. 

Meatless Monday Sri Lanka Team අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනු ලැබුවේ නිර්මාංශ දිවි පෙවතක තිබෙන වැදගත්කමයි. අප ඔබෙන් අයැද සිටියේ සදුදාට පමණක් හෝ නිර්මාශ වන ලෙසයි. ඒ මැයෙන් ගත්කල බොහෝ දෙනාට දැන් නිර්මාංශ ආහාරවේලක රස ගුණ දැනෙන්නට පටන්ගෙන ඇති බව නොරහසකි. 

රසකාරක නොමැති, සෞඛ්‍ය සම්පන්න එළවළු පළතුරු පරිභෝජනයේ සුව අන් කවරදාටත් වඩා ඔබට දැන් දැනී ඇති බව අපි දනිමු. ගස් වැල් පලෙන් බර වෙමින් ඔබට මේ මොහොතේද උදව් වු සැටි සිහියට නගන්න. 

සෞභාග්‍යා ගෙවත්ත www.saubagya.lk මැයෙන් රජය ආරම්භ කර තිබෙන හෙට වෙනුවෙන් අද වවමු ව්‍යාපෘතිය පිළිබදව ඔබට යම් දැනුවත් කිරීමක් කළ යුතුයැයි අප තීරණය කළේ සෞභාග්‍යා ගෙවත්තක් ඔස්සේ ඔබට අත්වන වාසි පිළිබදව දැනුවත් කිරීම මෙන්ම ඔබ එදිනෙදා බීජ හෝ පැල වගා කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් උපදෙස් මාලාවක් එහි අන්තර්ගතව තිබෙන නිසාය.

ගෙවතු වගාවේදී සැලකිලිමත් වියයුතු විශේෂ කරුණුවල පටන් වැදගත් තොරතුරු රැසක් මෙම www.saubagya.lk වෙබ් අඩවියෙන් ඔබට දැනගත හැකිය.

එපමණක් නොව ඔබට අවශ්‍ය බීජ වර්ග ලබා ගැනීමේ හැකියාවද මෙම වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වේ. නමුත් අදාල ඇණවුම් භාර ගැනීම බීජ තොග ඔවුන් සතුව ඇති අවස්ථාවල පමණක් සිදුවන බව වෙබ් අඩවියේ දක්වා තිබේ.

හිරුඑළිය

හිරුඑළිය
∙ හිරුඑළිය බෝග නිෂ්පාදනයට අවශ්‍යම සාධකයක්.
∙ ගෙවත්තේ හැමතැනකටම ලැබෙන හිරුඑළියේ තිව්‍රතාවය එක සමාන නැහැ
∙ ඒ ඒ ආලෝක තිව්‍රතාවයට ගැලපෙන බෝග වර්ග තෝරා සිටුවිය යුතුයි
ජල සැපයුම
∙ එක් එක් බෝග වල ජල අවශ්‍යතාවය වෙනස්.
∙ වර්ෂාවෙන් ලැබෙන ජලයට අමතරව අවශ්‍ය විටක බෝග සඳහා ජලය සැපයිය යුතු
වෙනවා.
ප්‍රදේශය
∙ මෙයින් අදහස් වෙන්නෙ තමන් ජීවත්වන ප්‍රදේශයට උචිත/ගැලපෙන බෝග වර්ග
තෝරා ගැනීමයි.
∙ එහිදී තමන්ගේ ප්‍රදේශය අයත් වන දේශගුණික කලාපයට, පසට ගැලපෙන බෝග
වර්ග තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
ඉඩකඩ
∙ බෝග තෝරා ගැනීමේදී තමන්ගෙ ගෙවත්තෙ බෝග වගාව සඳහා ලැබී තිබෙන
ඉඩකඩ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.
∙ වගා කිරීමට ලැබී තිබෙන ඉඩකඩ ප්‍රමාණය හා ස්ථානය අනුව බෝග තෝරන්න.

සීමිත ඉඩකඩකින් ගෙවතු වගාව 

  1. වගා කුළුණු
    ∙ පෝර බෑග් එකක් මැදට තැනින් තැන කුඩා සිදුරු විදින ලද උණ බටයක් ඇතුළු කර
    ඉතිරි ඉඩ වගා මාධ්‍ය යෙන් පුරවා ගන්න.
    ∙ මේ වගා මාධ්‍ය වියළි ගොම, එළු පොහොර, කොම්පෝස්ට් සහ කොළරොඩු දහනය
    කළ පසු ඉතිරි වන අළු සමඟ පස් කළවම් කරගෙන සාදා ගන්න.
    ∙ පොහොර උරයේ තැනින් තැන ඇතුලු කළ උණ බට කැබලි වල පැළ සිටුවා ගන්න.
    ∙ දින දෙකකට වරක් ජලය උණ බටයට පිරවීම ප්‍රමාණවත් වේ.
    ∙ උණ බටය හරහා පුරවන ලද ජලය වගා මාධ්‍යයට සෙමින් කාන්දු වී මාධ්‍යය යේ ඇති
    පෝෂක ද්‍රව්‍ය. පැළයට ලබා ගැනීමට උපකාරී වේ.
  2. උණ බටයේ වගාව
    ∙ තවත් සරල තාක්ෂණික ක්‍රමයක් ලෙස උණ බටය භාවිතා කර වගා කිරීම
    හැදින්විය හැක.
    ∙ වියළි ගොම, කොම්පෝස්ට් පොහොර, එළු පොහොර සහ කොළරොඩු පුළුස්සා
    ඉතිරි වන අළු සමඟ ඇති පස් කලවම් කර ගැනීමෙන් වගා මාධ්‍යය සාදා ගන්න.
    ∙ උණ බටයේ තැනින් තැන කවුළු සාදා උණ බටය සම්පූර්ණයෙන්ම වගා මාධ්‍යයෙන්
    පුරවා ගන්න.
  3. වගා මළු
    ∙ මැටි බදුන්, ප්ලාස්ටික් පෝච්චි, සිමෙන්ති පෝච්චි ඉවතලන හාල් මළු යන ආදිය බෝග
    වගා කිරීම සදහා යොදා ගන්න.
    ∙ මේ සදහා වගා මාධ්‍ය ලෙස සම ප්‍රමාණයේ මිශ්‍ර කළ කොමිපෝස්ට් පොහොර හා
    මතුපිට පස් යොදා ගත හැකි අතර පස් සමග කොහුබත් මිශ්‍රකර ගතහොත් එය වගා
    මල්ලේ  පරිහරණයට පහසුවක් වන අතර තෙතමනය රදා ගැනීමට උපකාරී වේ.
    ∙ නිවස ආශ්‍රිතව ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව වගා මල්ල තබන ස්ථානය
    වෙනස්තළ හැක.
  4. වගා රාක්ක
    ∙ ඉහලින් සරනේරු වලින් සම්බන්ධකළ හැකි වන සේ හේත්තුකොට පිහිටුවාගත් රාමු
    දෙකක් මත හරස් අතට පිහිළි පද්ධතියක් සවි කොට වගා රාක්ක සාදා ගත හැක.
    ∙ දැව රාමු මත උණ බම්බු පිහිළි හෝ වඩාත් කල්පවතින සේ G.I බට යොදා නිමවු රාමු මත
    පී.වී.සී. පිහිළි මේ සදහා යොදා ගත හැක. 
    ∙ කොහුබත් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කොට සෑදු මාධ්‍යයෙන් රාක්ක (පිහිළි )
    පුරවා ගන්න.

∙ මාධ්‍යට යොදන ජලයේ වැඩිමනත් කොටස බැස යාමට පිහිළි පහළින් කුඩා සිදුරු සකස්
කර ගන්න.
∙ රාක්ක දෙකක් අතර පරතරය අඩියක් වීම සුදුසුය.

  1. වගා බිත්ති
    ∙ නාගරික නිවස ආශ්‍රිතව පවතින කොන්ක්‍රීට් හෝ ගඩොල්  බිත්ති ඉදිකරන
    මෙහොතේ  ඒවාට සම්බන්ධව පිටතට සවිවී තිබෙන “L” ආකාර යකඩ ආධාරක
    නිර්මාණය කිරීමෙන් වගා බදුන් රැදවීම සදහා ආධාරකයක් පිළියෙල කර ගත හැක.
    ∙ හිස්ව පවතින සිරස් බිත්තියේ ඉඩකඩ මෙහිදී ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනේ.
  2. බඳුන්වල වගාව
    ∙ බදුන් සකස් කරගැනීමේදී, ලීටර 30-40 ප්‍රමාණයේ බඳුන් තෝරාගන්න.
    ∙ බඳුනේ පතුලේ හා පතුලට අඟල් 2-3 ඉහලින් ජල වහනය පහසු කරවීමට 1”
    ප්‍රමාණයේ සිදුරු 10-12 ක් සාදාගන්න.
    ∙ බඳුනේ පතුලට අඟල් 3-4 ප්‍රමාණයේ ගඩොල් / උළු කැබලි තට්ටුවක් යොදන්න
    ∙ ඉන්පසු බඳුන, බඳුන් මිශ්‍රණයේ මතුපිට (පස්: වැලි: ගොම හෝ කොම්පෝස්ට් 1:1:1
    අනුපාතයට) පුරවා සුදුසු පැළයක් සිටුවා ගන්න.

ගෙවතු වගාවේ පිළිපැදිය යුතු ගොවි උපදෙස් 

හිතකරබෝගසංකලන

∙ විවිධ බෝග රටා අනුගමනය කරමින් බෝග සංකලනයන් ඇතිකල හැකියි.
∙ මේ සඳහා තෝරාගත යුත්තේ හිතකර/මිශ්‍ර බෝගයි.
∙ හිතකර බෝග තෝරා ගත්විට එක් බෝගයක් වගා කිරීමෙන් අනෙක් බෝගයට හානියක් සිදුවන්නෙ නැහැ.

අතුරුබෝගවගාව

∙ බෝග 2ක් හරි වැඩි ගණනක් හරි මාරුවෙන් මාරුවට සකස් කරන ලද පේළි අනුව සමාන අවධානයකින් යුතුව එකම භූමියේ වගා කිරීමයි.

මිශ්‍රබෝගවගාව

∙ බෝග 2ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි ලෙස නිශ්චිත පේළිසකස් කිරීමක් නැතිව එකම ඉඩකඩක මිශ්‍රව වගා කිරීමයි.

බහුබෝගවගාව

∙ යම් භූමියක වසරක් හෝ යම් නියමිත කාලසීමාවක් තුල බෝග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් වගා කිරීමයි.

මුළුතැන්ගෙය අසල වගාකළ හැකි බෝග 

එදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න.

උදාහරණයක් ලෙස කරපිංචා, රම්පේ, සේර වැනි බෝග හැඳින්විය හැක.

වැඩිපුර තෙතමනය ප්‍රිය කරන වැඩි අවධානයක් යොමුකර රැකබලා ගත යුතු බෝගත් කුස්සිය අසලින් වගා කිරීම සුදුසුයි.

කාබනික පොහොර යොදාගැනීම 

දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර ලෙස සරලව හැඳින්විය හැකියි.

කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා.

එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

කාබනික පොහොර වර්ග:

  1. සත්ත්ව පොහොර
    ∙ ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
    ∙ කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.
  2. කොළ පොහොර
    ∙ ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
    ∙ කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
  3. කොම්පෝස්ට් පොහොර
    ∙ දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
    – ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
    – ගලවා දමනු ලබන වල් පැළෑටි
    – කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
    – පොල් කුඩු හා තේ කොළ
    – ලිපෙන් ඉවත් කරන අළු
    – වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
    – සත්ත්ව වසුරු
  4. ගැඩවිලි පොහොර
    ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.  

කොම්පෝස්ට් බැරලයක් සකසා ගෙන පොහොර ලබාගැනීම 

∙ මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
∙ කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
∙ කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
∙ සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
∙ බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි. 

ඉහත සදහන් කර ඇත්තේ ගෙවතු වගාව පිළිබද www.saubagya.lk වෙබ් අඩවියේ දක්වා ඇති වැදගත් කරුණුය. 

කුඩා ඉඩක ඔබටත් ඔබේ ආහාර බෝග වගා කර ගැනීමට උනන්දු කළ යුතු යැයි අපි කල්පනා කරන්නෙමු. නිර්මාංශ ඔබට පහසුවෙන් තම ආහාර ගෙවත්තෙන්ම සපයා ගැනීමට හැකියාව උදාවීමත්, ඔබගේ මානසික සතුටත් ගෙවතු වගාව ඔස්සේ ඔබට ලැබෙනු ඇත.

විශේෂයෙන් කොවිඩි-19 වැනි වසංගත පවතින කාලවලදී, අගලුවැටුණු නිවසක විවිධත්වය ළගා කර ගැනීමටත්, පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීමටත් ගෙවත්තේ වාග කෙරෙන එළවළු පළතුරු ඔබට නිතැතින් සහය වනු ඇත.

Meatless Monday Sri Lanka Team එක ඔබට මේ පණිවුඩය සිහපත් කරනුයේ නිර්මාංශ ඔබ මෙම කටයුත්තට වඩා ප්‍රිය කරන බව හැගී යන නිසාය. දැනටමත් ඔබ සෞභාග්‍ය උදාකරන ඵලදායී ගෙවතු වගාවක හිමිකාරිනියක හෝ හිමිකරුවකුනම් ඔබත් සතුටු වන්න. එසේ නොවන්නේනම් අදම ඒ සදහා ක්‍රියාත්මක වන්න. මෙවැනි උත්තේජයක් නැවත ඔබට ලැබීමට මෙවැනිම පීඩාවක් නැවත පැමිණෙනතුරු බලා සිටිය යුතු නැත. 

ඔබේ ගෙවත්තෙන් සකසා ගන්නා නිර්මාංශ ආහාරවේලක් වෙතොත් අපට ඒ අහාර වේල ගැන තොරතුරු එවන්න. එය අපේ ප්‍රයත්නයට අස්වැසිල්ලකි. 

 රමේෂ් වරල්ලෙගම 


Posted

in

by

Tags: