ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින්  නිර්මාණශීලී ආහාර වට්ටෝරු නිෂ්පාදනය කිරීම ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථාවන්ට මඟ පාදයි: චාමිනී උඩුපිහිල්ල සමඟ පිළිසඳරක්

ශාක මත පදනම් වූ ආහාර සංස්කෘතියක් සහ ඉතිහාසයක් ශ්‍රී ලංකාව හා බැඳී ඇති අතර, එය තිරසාර ආහාර රටාවන් හා පද්ධති සමඟද බොහෝ සෙයින් බැඳී පවතී.එසේම, ශ්‍රී ලංකාවේ ආහාර ලෙස භාවිතා කළහැකි ස්වභාවික සම්පත් විවිධ ව්‍යාපාරික අවස්ථා සඳහා මඟ පාදයි. මෙම ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණශීලී ආහාර වට්ටෝරු අත්හදා බැලීමට යොමු වීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළ එක්වීමට අවස්ථාවන් සැලසේ.

 

පසුගියදා EthicalX සමඟ කතාබහට එක්වෙමින් චාම්ස් ගුඩීස් (Cham’s Goodies ) – ශාක මත පදනම් වූ ග්ලූටන් රහිත අතුරුපස සන්නාමයේ නිර්මාතෘ චාමිනී උඩුපිහිල්ල, ඇයගේ ශාක මත පදනම් වූ ආහාර නිෂ්පාදනයන් පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

 

මේ එම සංවාදයෙන් උපුටා ගත් කොටසකි.

  • ව්‍යවසායකයෙකු වීමට ඔබට හේතු වූයේ මොනවාද?

 

ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ව්‍යවසායකයෙක් යනු, තමන්ගේ දැනුම සහ හැකියාව යොදාගනිමින් සමාජයට යමක් ඉටු කරන පුද්ගලයෙකි. එමනිසා මට උවමනා උනා මම දක්ෂ ක්ෂේත්‍රය තෝර ගනිමින් මම ජීවත්වන සමාජයට සහ පරිසරයට වැඩදායී යමක් කිරීමට. ඒ අතරම අනාගතයේ රැකියා අවස්ථා බිහිකිරීමටත් අවශ්‍ය වූ නිසා මා ව්‍යවසායිකාවක් වීමට තීරණය කළා. එසේම මගේ හැකියාවන් නිදහස්ව භාවිතා කිර්‍රිමට තිබුණු කැමැත්තද මෙයට හේතු වූවා.

  • ඔබගේ ව්‍යවසායක කටයුතු වලදී දේශගුණික හිතරකර සහ තිරසාරබව යන සංකල්ප යොදාගන ඇත්තේ කෙසේද?

 

ලංකාව තුළ තවමත් ප්‍රචලිත වෙමින් පැවතියත්, ලෝකයේ බොහෝ රටවල් පුරා ‘වීගන් ආහාර’ යන සංකල්පය ඉතාම ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් තුළින් අපිට  විවිධ නිර්මාණශීලී ආහාර වට්ටෝරු අත්හදා බලන්නට හැකියාව තිබෙනවා. එමනිසා මම මෙවැනි සම්පත් උපයෝගී කරගනිමින් තිරසාර ලෙස කේක් වර්ග ඇතුළු විවිධ බේකරි නිෂ්පාදන  පර්‍යේෂණය කර අත්හදා බලන්නට පෙළෙඹුනා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මෙම නිෂ්පාදන අද මම වෙළඳපොළට බෙදා හරිනවා. එම නිෂ්පාදන ශාක මත පමණක් පදනම් වූ පෝෂණ ගුණයෙන් අනූන සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන ලෙස හඳුන්වන්න පුළුවන්.

  • කාබන් පා සළකුණු (carbon foot print) වැනි සංකල්ප ඔබගේ ව්‍යාපාරයට අදාළ වන්නේ කුමන ආකාරයෙන්ද?

 

මෙහිදී මම මාගේ බේකරි නිෂ්පාදන ඇසුරුම් පිළිබඳව විශේෂ අවදානයක් යොමු කිරීමට කටයුතු කළා. බිස්කට් වර්ග සහ කේක් ඇසුරුම් කිරීමේදී ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම වන ආකාරයෙන් කඩදාසි අසුරුම් භාවිතා කිරීමට මම කටයුතු කරලා තියෙනවා. මේ ආකාරයෙන් මගේ නිෂ්පාදන තුළින් පරිසරයට බැහැර කරන පොලිතින් ප්‍රමාණය 99% දක්වා අවම කිරීමට කටයුතු ගෙන තිබෙනවා.

  • ශාකමත පමණක් පදනම් වූ නිෂ්පාදනයන් කිරීමේදී ඔබ ආදේශක ලෙස භාවිතා කරන්නෙ මොනවාද?

මෙහිදී බිත්තර වැනි අමුද්‍රව්‍ය අවශ්‍ය වන නිෂ්පාදන සඳහා ඔලිව් තෙල් හෝ පොල් තෙල් භාවිත කිර්‍රීමේ හැකියාව පවතිනවා.  ඊට අමතරව මගේ නිෂ්පාදනයන් අතර ඇති ‘වීගන් බනානා බ්‍රෙඩ්’ වේගයෙන් අලෙවි වන නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුලත් යම්කිසි වීගන් ආහාර සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතිනවා. එමඟින් අප ජීවත් වන පරිසරයට විශාල කර්‍යභාරයක් ඉටුවෙනවා.

මගේ තවත් එක් ශාක මත පදනම් වූ නිෂ්පාදනයක් තමයි වීගන් පොප්සිකල්ස් (Vegan Popsicles) . මේවා ඉතා ආකර්ශනීය වර්ණ වලින් අපි නිෂ්පදනය කරනු ලබනවා. අවශ්‍ය වර්ණයන් ලබා ගැනීමට නිල් කටරොළු මල්, නිවිති කොල වැනි ස්වභාවික අමුද්‍රව්‍ය Cham’s Goodies නිෂ්පාදන සඳහා යොදා ගන්නවා.

  •  ඔබ සම්බන්ධ වී සිටින EthicalX   වැඩසටහන ඔබගේ ව්‍යාපාරයට උපකාරී වී ඇත්තේ කෙසේද? එමඟින් ඔබගේ ව්‍යාපාරයට ලැබෙන්නේ කුමන ආකාරයේ සහයෝගයක්ද?

 

වැඩසටහන සමඟ සම්බන්ධ වීම මඟින් විවිධ අංශ වලින් දැනුමින් සන්නද්ධ, වෘත්තිමය කණ්ඩායමක් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව මට සැලසුනා. අපගේ ක්ශේත්‍රයන් වෙනස් වූවත්, සියල්ලන්ගේම අවසාන අරමුණ බොහෝ සෙයින් සමාන නිසා ඒ දැනුම අප ව්‍යාපාර ඉදිරියට රැගෙන යාමට ඉතාමත් උපකාරී වෙනවා. EthicalX කණ්ඩායමේ එම සහයෝගය සහ මගපෙන්වීම උපයෝගී කරගනිමින් මගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට මම බලාපොරොත්තු වෙනවා.

  • ඉදිරියේදී මෙවන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට ඔබට දීමට ඇති පණිවිඩය කුමක්ද?

 

තමන්ගේ දක්ශතාවයක් හඳුනාගෙන, ඒ වෙනුවෙන් මහන්සිවී ඉවසීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්න. එවිට ඔබ වටා විවිධවූ අවස්ථාවන් ගොඩනැගේවි.


Posted

in

by

Tags: