යාල් – 30, සී වීව් ඇවනියු, කොළඹ 03

යාල් යමු කියපු ගමන් ඔබට යාපනයේ යමු වගේ අදහසක් එනවා නිසැකයෙන්ම, හැබැයි මේ අපි කියන්න යන්නේ යාල් පානම් ගිහිං කන්න පුළුවන් රස වීගන් කෑම තියෙන කොළඹ 03, සී වීව් ඇවිනියු, අංක 30 ස්ථානයේ තිබෙන යාල් අවන්හල ගැන.

ඔබට යාපනයට ආවේනික වීගන් කෑම වර්ග ලබා ගන්න පුලුවන් තැනක් තමයි යාල් අවන්හල. මැරීන් ඩ්‍රරයිව් එකේ යාල් රෙස්ටුරන්ට් එක කොහෙද කියලා ඇහුවත් මේ තැන පහසුවෙන්ම සොයාගන්න පුළුවන්. 

වෙජිටේරින් අයට තමයි යාල් වගේ තැනකත් වැඩිපුර ආහාර තිබෙන්නෙ, හැබැයි වීගන් අයට ඔබටම විශේෂ විධියට ආහාර තෝරා ගැනීමේ හැකියාව මේ අවන්හලේ තිබෙනවා.

තඩ්ෂාජනී, සුරම්‍යා සහ මම මධ්‍යාහනේ යාල් අවන්හලට ආවෙමු. අපට අවශ්‍ය වුයේ ඉතා ඉක්මනින් වීගන් ආහාර වේලක රස බැලීම වුවත් පිපාසය කෙළවරක් නැතිවිය.

මම තෝරාගත් යුෂ පාන කිහිපයක්ම ලබා ගැනීමට නොහැකි ලැයිස්තුවේ තිබීම කණස්සල්ලට හේතුවුවත්, කුමන හෝ යුෂ පානයක් ලබා ගැනීම පිපාසය සන්සිදුවා ගැනීමේ අවශ්‍යයතාව වැඩිකරලීය.

කොමඩු සහ අඹ යුෂ පානය අපගේ සිත් ගත්තේ ඒ අනුවය.  යාල් අවන්හලේ තිබෙන විශේෂත්වය ගැන සුරම්‍යා, තඩ්ෂාජනි කතා කරන්නට වුයේ යාපනයට පමණක් අවේනික නොවන ආහාර හා යුෂ, අතුරු පස මෙම අවන්හලේ තිබීම පිළිබදවය. 

විවිධ වර්ගයේ ව්‍යංජන සමග ලබා ගැනීමට හැකි පිට්ටු,පරාටා, කොත්තු රොටි, ඉදි ආප්ප ඇතුළු ආහාර වර්ග රැසක්ද ආහාර වට්ටෝරුවේ විය. ඒවායින් බොහොමයක් රාත්‍රි කාලයේ පමණක් ඇතැයි අපට සේවා සැපයු සේවාදායකයා පැවැසීය.

මාංශ ආහාරද අලෙවි කරන මෙම ස්ථානයේ වැඩි වශයෙන් යාපනයේ සංස්කෘතියට අදාල ආහාර පානකොළඹ දී  ලබා දීමේ උත්සාහයක් ඇති බව පෙන්නුම් කළේය. පරිප්පු, අර්තාපල්, සුදු ලූණු ව්‍යංජන නිර්මාංශිකයන්ට විවෘත ආහාරය.

තඩ්ෂාජනී තෝරා ගත්තේ එළවළු ෆ්‍රරයිඩ් රයිස්ය, සුරම්‍යා සහ මම සාමාන්‍ය බත් සමග එළවළු අහාර ඇණමුම් කළෙමු. ඒ බත් වර්ග දෙක එකිනෙකට වෙනස්වන විධියටය. මම බාසුමතී බත් ඇණවුම් කළ අතර, සුරම්‍යා සම්බා බත් ඇණවුම් කළාය. 

බත් සමග අනෙකුත් අහාර ද්‍රව්‍ය පිලිගන්වනු ලැබුවේ රීදි පැහැති බදුන්වලය. බත් පිළිගැන්වීමේදී සාම්ප්‍රදායික ලෙස කෙසෙල් කොළයට දැමු බත් සමග , කුඩා බදුන් රැසකට වෙන වෙනම දැමු එළවළු හා ව්‍යංජන පපඩම්ද වුයේය. එතැනින් වෙනස් වුයේ තඩ්ෂාජනීගේ එළවළු ෆයිඩ්රයිස් පමණි.

මගේ සහ සුරම්‍යාගේ ආහාර වේල සමග ලැබුණු රසම්  සහ සව් පානය වඩා ඇලුම්කළ දෑය. තඩ්ෂාජනී සව් කෑමට කැමති බව කීවාය.

එදින විශේෂත්වය වුයේ මෙතුවක් කල් රසම් වෙනමම පානය කිරීමට පුරුදුවී සිටි මට තඩ්ෂාජනී, රසම් බත් එකට දමා ගන්නැයි කළ යෝජනාවය. එහෙමද කන්න ඔන යැයි විමතියෙන් විමසු මම තඩ්ෂාජනීගේ සහ සුරම්‍යාගේ මුහුණු බලමින් රසම් බදුන බත් එකට දමා ගත්තෙමි. එය ව්‍යංජනයක් ලෙස මෙසේ බත් එකට දමාගත් පසු අහාර වේල තවත් රසවිය. 

යාල් අවන්හලේ පළමුව ලැබු මෙම අත්දැකීම කොතරම් යාපනයේදී ආහාර ගත්තත් මා විසින් නොකළ වැඩකි. මෙහි වැරැද්දක් ඇත්නම් කිසිවෙකු විසින් නිවැරදි කරනු ඇත. නමුත් නොදන්නා දේ කා විසින් හෝ පැහැදිලි කරයි නම්. එය නිවැරදි නම් මා ඊට ගරු කළ යුතුය. 

තඩ්ෂාජනී, හින්දු හා දමිළ ජන කොටස් අතර පවතින සාම්ප්‍රදායික සහ සංස්කෘතිමය ආහාර පිළිවෙත් ගැන අහාර ගන්නා අතරවාරයේ කෙටියෙන් පැහැදිලි කළාය. වෙන් වෙන්ව බදුන්වල අහාර ව්‍යංජන පිරීනැමීමට ආදි හේතු කිහිපයක්ද ඇය කීවාය. මට තිබුණේ වීගන් ආහාරයක රස ඔබට කියන අතරේ, කුස ගින්නක්ද නිසා ඇය කියු සියුලු දෑ මට දැන් නම් මතක නැත.

බත් සමග පරිප්පු, අළු කෙසෙල්, තෙල් දැමු බණ්ඩක්කා, පපඩම්වලට අමතරව, බැදපු මිරිස් ඒ සමග විය. සරල කොතරම් ද ඒ තරම්ම රසවත්ය. මේ සුරම්‍යා කියු හැටිය. මම තඩ්ෂාජනීගේ ආරාධනාවෙන් ඇයගේ එළවළු ෆයිඩ්රයිස් එකෙන්ද කොටසක් මගේ පිගානට ගෙන රස බැලුවෙමි. ඇත්තෙන්ම ආහාර ගන්නා විට මේ ආහාර ගුණයෙන්ද අගතැන්පත් යැයි යාල් අවන්හලේ අහාර සමග සිහියට නොආවොත් පුදුමය.

එළවළු ෆයිඩ්රයිස් යාපනයට අවේනික සම්ප්‍රදායික කෑමක් නොවුනද ඊට යොදන කුළු බඩු හා අනෙකුත් ව්‍යාංන නිසා එය නිරායාසයෙන් අනෙකුත් එළවළු ෆයඩ් රයිස් එකකින් වෙනස් වුයේය.

තඩ්ෂාජනී මොහොතින් මෙහොත දෙමළ හුරුවට මෙම අහාර ද්‍රව්‍යවල නම් කීවාය. අප ඇයගෙන් තව තවත් දෑ දැන ගැනීමට වෙහෙස වුයේය. Meatless Monday Sri Lanka Team ( නිර්මාංශ සදුදා ශ්‍රි ලකා ) කණ්ඩායම ලෙස එකම මේසයක විවිධ සංස්කෘතීන්ගෙන්, විවිධ සම්ප්‍රදායන් කරපින්නා පැමිණෙන ආහාර එකට සිට අහාර ගැනීමේ ප්‍රීතියද මේ මොහොතේ අප භුක්ති වින්දේය. 

අහාර ගැනීමෙන් පසු අතුරුපස කෑමට තරම් මට සිත් නොදුන්නත්, සුරම්‍යා අහාර වේලට අතුරුපස එක්කර ගත යුතුයැයි කීවේ ඔබට ඒ ගැන කීමට ඇති අවශ්‍යතාව නිසාය. 

මම නම් මගේ අහාරවේලට ලැබුණු සව් බදුන හිස් කළේය. එය විශාල ප්‍රමාණයක් නොවුනද අහාර වේල සමග පෑහෙන්නට ඇති තරම්ය. මිශ්‍ර පළතුරු සලාදයක් සුරම්‍යාය ඇණවුම් කළ අතර එහි වු කෙසෙල්, ගස්ලබු සහ අන්නාසි නැවුම් පළතුරු පැහැය නොගත් බව මගේ නිර්දේශයයි. සුරම්‍යාද එය අනුමත කළාය. යාල් අවන්හලට පළතුරු ගන්නා වෙළෙන්දා මාරු කිරීමට කාලය පැමිණ ඇතැයි ඇය සිනාසෙමින් කීවාය.

යාල් අවන්හලට යා වුණ මාර්ගයෙන් අනෙක් පස වුයේ තෙරක් නෙපෙනෙන මහ මුහුදයි. රළ ගැටෙන හඩ අතුරින් රේල් පාරේ හූ කියමින් ධාවනය වන දුම්රියක්ද යාල් හි සිටි කාලය තුළ අපි පසුකොට ගියෙමු. 

නැවත රාත්‍රියක එන්නම්. ඇයි රෑට නේ ආහාර වට්ටෝරුවේ බොහෝ කෑම තියෙන්නෙ යැයි අපි අපට සේවය සැපයු සහයකයාට විහිළු කරමින් ආපසු හැරුණෙමු. 

තවත් දවසක මේ වගේ තැනක වීගන් අහාර වට්ටෝරුවක රස මිහිර අරගෙන හමුවෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් ! 

මම රමේෂ් වරල්ලෙගම 


by

Tags: