ද පියෝ කිචන් (The Pure Kitchen) – 78, රොස්මිඩ් පෙදෙස, කොළඹ -07

ලංකාවේ කොතන වුණත් හොද වීගන් ආහර තියෙන තැනැක් නම් අපට ඒ තැන තමයි සුන්දරම තැන. ද පියෝ කිචන්. Meatless Monday Sri Lanka Team එක ඔන්න පියෝ කිචන් එකත් හොයාගෙන ආවා.අපගේ ආයතයේ ඩෙනිස් මහත්මයා තමයි අපට මේ තැන ගැන මුලින්ම හෝඩුවාව දුන්නෙ.

අපිත් ඉතිං හොයාගෙන යන්න දක්ෂයි නේ. හොයන්නාට හම්බුවෙනවා  කියලා කතාවකුත් තියෙනවා නේ. ඉතිං ඔන්න සුරම්‍යාටත් මටත් මේ තැන සොයාගන්න ලැබුණා. අංක 78, රොස්මිඩ් පෙදෙස කොළඹ 07 කියන ලිපිනයට ආවනම් ඔන්න විශාල නාම පුවරුවක් තියෙනවා බිත්තියටම අල්ලලා. The Pure Kitchen කියලා තමයි ඒකේ ගහලා තියෙන්නෙ.

පියෝ කිචන් කිව්ව ගමන් ජාවත්ත පාරේ තිබුණ පියෝ කිචන් එක මතක් වෙන්න පුළුවන්. සෑහෙන කාලයක් මේ තැන දන්න අයට. නමුත් දැන් පියෝ කිචන් එක තියෙන්න රොස්මිඩ් පෙදෙසෙ අපි කිව්ව ලිපිනයේ. ඇත්තටම එකම කළමනාකරණයක් යටතේ තැන මාරුවීම විතරයි වෙලා තියෙන්නෙ.

සුරම්‍යා හරි අපූරුවට පියෝ කිචන් නාම පුවරුව බලාගන්න ලෙහෙසිම විධිය මාත් එක්ක කිව්වා. ඒ තමයි කිචන් කියන එකේ අයි අකුර වෙනුවට නාම පුවරුවේ තියෙන්නෙ තැඹිලි පාට  කැරට් අලයක්. දැන් ඔන්න එන විධිය. තැන අදුනගන්න පුළුවන් පහසුම විධියත් අපි ඔයාලට කිව්වා.

The Pure Kitchen

සුරම්‍යා සහ මම ගිනි මධ්‍යහ්නයේ තමයි පියෝ කිචන් සොයාගෙන ගියේ. හැබැයි පිවිසුමෙන් ඇතුලට ගියපු ගමන් අපගේ ගත සිත පිනවන සිසිලසක් දැනෙන්න වුණා. දැන් හිතෙන්න පුළුවන් වායුසමීකරණය නිසා ද කියලා, ඒ විතරක් නෙමෙයි ඇත්තටම පියෝ කිචන් තියෙන තැන අපූරු ගෘහ නිර්මාණය ප්‍රතිභාවක් තිබෙනවා. ගස්වැල් සමග ගිය සිතුවම් ඇදි බිත්ති ඒ තැනට අපූරු වටිනාමක් දී තිබෙනවා. විශාල ඉඩ කඩක් නැතිවුණත් අමුතු නිදහස් මේ තැනට ආවම දැනෙනවා.ඒ නිසාමද දන්නෙ නෑ අපි යනකොටත් යුවලක් ආහාර ගනිමින් විනෝදවෙනවා අපි දැක්කා.මෙතන එකවර ආහාර ගැනීමට ඉඩකඩ තියෙන්නෙ 10-12 දෙනෙකුට විතරයි.  ඒ නිසාද දන්නෙ නෑ Uber Eats වලට වැඩි ඉල්ලුමක් ඇති බව පෙනුණා. අප එහි ඇතුලට ගොස් වාඩිවෙන විටත් ඌබර් ඊට් ආහාර ඇණවුම් ගෙනයාමට පැමිණි දෙතුන් දෙනෙක් මුදල් අයකැමි මේසය අසල රැස්කමින් සිටියා.

මිත්‍රශීලී පිළිගැනීම 

ඒ මොන කාර්ය බහුලත්වය තිබුණත් පියෝ කිචන් වේටර්වරිය නැතිනම් මුදල් අයකැමි තරුණිය අපට ප්‍රමුඛත්වය දෙමින් අපගේ ඇණවුමට මුල් තැන දුන් බව නොකියාම බෑ. ඒ නිසා සුරම්‍යයත් අපගේ ආහාරවේල ඇණවුම් කිරීමට පෙර ඇයගෙන් වීගන් ආහාරවේලක අවශ්‍යතාව කියමින් ඒවාට යොදන අමු ද්‍රව්‍ය ගැන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. නමුත් ඇයත් මේ ප්‍රශ්න කිරීම්වලට සාවදාන වෙමින් නිසි පිළිතුරු දීම අපගේ ආහාර උනන්දුව තවත් වැඩි කළා. ඇයගෙ අදහස් පවා ඇය අපට එකතු කළා. 

වීගන් අහාර වට්ටෝරු 

පියෝ කිචන් ආහාර වට්ටෝරුවේ වීගන් අහාර සදහා වෙනම ඉඩක් වෙන්කර තිබීම විශේෂයි. අපගේ වෙටර්වරිය ඒ සදහා අපට සාර්ථක ලෙස උපදෙස් දෙනු ලැබුවා. සුපිරි බදුන් (Super Bowls),විශේෂ(Specials) සලාද(Salads) සහ සෞඛ්‍ය හිතකර (healthy treats) ලෙස එහි කාණ්ඩ කිහිපයක් දක්නට ලැබුණා. 

මෙතන තිබෙන මාංශ ආහාර වට්ටෝරුව වීගන් ආහාරයක් ලෙස ඇණවුම් කිරීමේ විශේෂ හැකියාව තිබෙනවා.ඒ නිසා වීගන් අහාර ගන්න කෙනෙකුට  කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ.

 නිවිති පානය  (Spinach and Chia Green Juice)

ඇත්තටම මේ පානයේ හිමිකරුවාත් සොයා ගැනීමත් අපට උදව් කළ වේටර්වරියගේ වීම අප පුදුමයට පත්කළා. එය ඇත්තටම ඉතා රසවත් නවමු අත්දැකීමක් වුවා. සුරම්‍යාටත් මෙය නවමු අත්දැකීමක්. ඊටත් වඩා අප ප්‍රියකළේ ප්ලාස්ටික් බටවලින් තොරව ලෝහමය බටයක් සමග අපට මෙම පාලනය පිළිගැන්වීමයි.

කොමඩු පානය  (watermelon)

කොමඩු පානය විශේෂිත වු පානයක් නොවන බව මම දන්නවා. නමුත් අපි දෙන්නා විවිධත්වයට එක්ක කොමඩු පානයකුත් ඇණවුම් කළා. මම තමයි කොමඩු බොන්න ආස කරන්නෙ. ඒ නිසා මා වෙනුවෙන්ම එය වෙන්වුවත් සුරම්‍යාගේ නිවිති පානයෙන් රස බලන්න මම අමතක කළේ නැහැ.

ක්විනෝවා සලාදය (Quinoa Tabbouleh Salad)

ටෝෆු සමග රසවත්වන අහාර බදුනක් ගැන සුරම්‍යා උනන්දු වුවත් අවාසනාවකට එය ඒ මොහොතේ ලබාගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඇය ක්විනොවා සලාද බදුනට ප්‍රිය කළා. එහි ඉතා සිහින්ව එළවළු හා ඖෂධීය පැලෑටි  වර්ග රැසක් අඩංගුකරමින් සකස්කර තිබෙනවා. චීස් නොමැතිව මෙම ආහාරය රසවත් කරන්න සුපවේදීන් වගබලාගෙන තිබුණා. ක්විනෝවා සමග එළවළු මිශ්‍ර කර තිබීමත් ඔලිව් තෙල්,දෙහි, ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පරිදි යොදා තිබීමත් මෙම ආහාර බදුනේ රස දෙගුණ තෙගුණ කරනු ලැබුවා.

සූඩ්ල්ස් (zoodles)

මම ඇණවුම් කළේ සුඩ්ල්ස් බදුනක්. සාමාන්‍යයෙන් මෙම බදුන කුකුළු මස් හා ඉස්සන් සමග නිර්මාණය කරන මාංශ ආහාර බදුනක්. නමුත් මගේ පෙරැත්තට එය වීගන්කොට නිර්මාංශ ආහාරවේලක් ලෙස ලබා දීමට පියෝ කිචන් සූපවේදීන් සමත් වුණා.ග්ලුටන් රහිත සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලෙස මෙම අහාර බදුන සකසාදීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වුනෙමි. තක්කාලි සෝස් සමග එය වඩාත් රසවත්විය.

ඉතා කෙටි වේලාවක් තුළ සියලු ඇණවුම් ලබා ගැනීමට හැකිවීමත්, දුම් දමන රස්නයෙන් අහාර පිළිගැන්වීම දුටු නිසාත් අපගේ හිතත් ආහාර සමග පිරී ගිය බව නොරහසක්.

වීගන් චොකලට් කේක් (Vegan Chocolate Cake)

අතුරුපස කෑමට තරම් ඉඩක් නොවුවත් පියෝ කිචන් විශේෂ වීගන් චොකලට් කේක් සදහා දැන්වීමක්ද පල කර තිබු නිසා අපට අපගේ Meatless Monday Sri Lanka Team එක විධියට ඒ ගැන ඔබට කිව යුතුයැයි හැගුණා. සුරම්‍යා මගෙන් ඇහුවා රමේෂ් මොකද කරන්නෙ කියලා. මම කිව්වා. අපි අරගෙන බලලා ඒ රස මිහිර ගැනත් කියමු කියලා. ඔන්න අපි වීගන් චොකලට් කේක් එකක් අරගෙන රස විදින්න වුණා. පුදුම රසක්. උණුසුම්ව පිළිගැන්වු කේක් කැබැල්ලක රහ දිව නහර පිනා ගියා. 

සුරම්‍යාට ප්‍රශ්න තියෙනවා. ඔන්න දැන් අහනවා මේ කේක් එක මෙහෙමද හැදුවෙ කියලා. Butter Boutique එකෙන් සපයන ලද අතුරුපස බව ඔන්න සුරම්‍යා දැන ගත්තෙ එහෙමයි. ඉතිං ඔන්න සුරම්‍යා වීගන් කෑම කන්න යන ගමන් මේ වගේ රහස් පරීක්ෂක වැඩත් කරනවා.

පියෝ කිචන් හිමිකාරිනියි රුක්ෂි නෙත්තිකුමාර Butter Boutique අතුරුපස අවන්හලත් ඇයගේමයි. ඒ නිසා ඉතිං සැකයක් තියාගන්න එපා පියෝ කිචන් ආවම ඒ කියන්නෙ සියලු දේවලින් අංග සම්පූර්ණ වෙන්නෙ එහෙමයි.

දැන් ඉහත මිල ගණන් ගැන දාලා නෑනේ කියලා කලබල වෙන්න එපා. අපි වට්ටෝරුව පිටින්ම ගහගත්ත පින්තූර බැලුවම ඔයාලට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්වෙයි. 

පියෝ කිචන් දුරකථන අංකය -0117597737  කතා කරලත් බොහෝ ප්‍රශ්න විසදගන්න පුළුවන් වෙයි. ඔබත් වීගන් රසිකයෙක් රසිකාවියක් නම් අප කියන තැන්වලට ගිහිං ඒවායේ රහ ගුණ බලන ගමන් ඔයාලා ගියපු අලුත් නවමු වීගන් අත්දැකීම් ගන්න පුළුවන් තැන් ගැනත් අපට කියන්න. ;

එහෙනම් අද සමුදෙන්නෙ පියෝ කිචන් එකට ආයෙ දවසක අලුත් තැනකින් වීගන් ආහාරවේලක රස මිහිර එක්ක හමුවෙනවා. සුවබර දවසක් ! ජය ! 

රමේෂ් වරල්ලෙගම 


by

Tags: