තිරසාර අනාගතයක් වෙනුවෙන් නව වසරේ තිරසාර ජීවන රටාවකට හුරු වෙමු

ගෙවුන 2020 වසර

ලෝකයම සසල කල වසංගතයකට මුහුණ දෙමින් කායික, මානසික සහ ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වූ 2020 වර්ෂයෙහි අවසාන අදියර පසුකර 2021 වර්ෂයට එළඹෙන මොහොතේ මිනිසුන් වශයෙන් පසුගිය වසර කිහිපය තුල ගත කල ජීවන රටාව සහ පරිභෝජන රටාව පිලිබඳ නැවත සිතා බැලීමට කාලය එළඹ ඇත. පෘථිවියට එසේ නැත්නම් අප ජීවත් වන පරිසරයට දරාගත නොහැකි පරිභෝජන පුරුදු අනුගමනය කිරීම තුලින් දීර්ඝ කාලීනව ලෝකයේ ක්‍රියාකාරීත්වය අඩපන කිරීමට හැකි ස්වභාවික ව්‍යසන ඇතිවන බව අප දැනටමත් අත්දැක අවසානයි. වසංගත මෙන්ම දේශගුණික වෙනස්වීම් නිසා ඇතිවන ස්වභාවික ව්‍යසන තුලින්ද අනාගතයේදී විශාල බලපෑම් වලට මුහුණ දීමට අපට සිදු වියහැක. 

මෙම පාරිසරික ගැටළු වලට ප්‍රධානතම හේතුව ලෙස මිනිස් ක්‍රියාකාරකම් හඳුන්වා දිය හැක. සීමාව ඉක්මවා පරිසරයට හානි කිරීම තුලින් අවසානයේ එහි අනිසි ප්‍රතිවිපාක ලෝකවාසී සියලු දෙනාටම විවිධ ආකාරයෙන් අත් විඳීමට සිදු වනු ඇත. මිනිස් ක්‍රියාකාරකම් පිලිබඳ අවධානය යොමු කිරීමේදී ෆොසිල් ඉන්ධන දහනයේ සිට එදිනෙදා සුළු පරිභෝජන පුරුදු දක්වාම එක් එක් මට්ටමින් පරිසරයට අහිතකර බලපෑම් ඇති කරයි. නත්තල් අසිරිය විඳිමින් 2021 වසර ආරම්භයට සුදානම් වන අප, එළඹෙන වසරේදී තිරසාර ජීවන රටාවකට යොමු වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. 

තිරසාර බව

තිරසාර බව යනු අනාගත පරපුරට ඔවුන්ගේ පරිභෝජනය අහිමි නොවන ලෙස අපගේ වර්තමාන පරිභෝජන රටාව හැඩගස්වා ගැනීමයි. ස්වභාවික සම්පත්, පුනර්ජනනීය සම්පත් සහ පුනර්ජනනීය නොවන සම්පත් ලෙස කාණ්ඩ දෙකකි. පුනර්ජනනීය  නොවන සම්පත් ලෙස හඳුන්වන්නේ ඛනිජ තෙල්, මැණික්/දියමන්ති වැනි පාෂාණ වර්ග, ඇලුමිනියම්/රත්තරන් වැනි ලෝහ වර්ග යන, මූලාශ්‍රයෙන් ලබාගත් පසු නැවත ජනනය වීමක් සිදු නොවන සම්පත්ය. වර්තමානයේදී ලෝක ජනගහනය විසින් ඛනිජ තෙල්, ලෝහ වැනි සම්පත් අධික ලෙස පරිභෝජන කිරීම නිසා අනාගත පරපුරට එම සම්පත් භාවිතයට ඇති අවස්ථා සීමිත වේ. එසේම පුනර්ජනනීය සම්පත් ලෙස හඳුන්වන්නේ ශාක, ජලය සහ මාළු වැනි පරිභෝජන කිරීමෙන් අවසන් නොවන නැවත නැවත ජනනය වන සම්පත්ය. දැව සඳහා ශාක කැපුවත් නැවත නැවත ශාක වර්ධනය වේ. නමුත් මිනිසාගේ අසීමිත පරිභෝජනය මෙම පුනර්ජනනීය සම්පත් වල නැවත ජනනය වීම වැලක්වීමට හේතු වී ඇත. අසීමිත ලෙස වනාන්තර විනාශ කිරීම, ඩයිනමයිට් භාවිතය වැනි විනාශකාරී ක්‍රම තුලින් මසුන් මැරීම, නල ළිං මගින් උල්පත් ජලය භාවිතය, අපද්‍රව්‍ය පරසරයට එකතු කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම් නිසා ස්වභාවික සම්පත් ක්‍රමයෙන් හිඟ වෙමින් පවතින අතර අනාගත පරපුරෙහි පරිභෝජන අවශ්‍යතා කෙරෙහි දැඩි අවධානමක් ඇති වෙමින් පවතී. මෙවැනි කරුණු නිසා තිරසාර ජීවන රටාව කෙරෙහි වර්තමාන ලෝකයේ විශාල අවධානයක් හිමි වී ඇත. 

තිරසාර ජීවන රටාව

තිරසාර සහ පරිසර හිතකාමී ජීවන රටාවක් ගත කිරීම පිළිබඳව උනන්දුවක් සහ කැමැත්තක් දක්වන ඔබට තිරසාර බවේ 5R සංකල්පය හොඳ මග පෙන්වීමක් ලබා දෙනු ඇත. 

  1. (Refuse) ප්‍රතික්ෂේප කිරීම: ඔබ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට පෙර එය ඔබට අත්‍යවශ්‍යද යන්න නැවත සිතා බලන්න. අනවශ්‍ය පරිභෝජනයෙන් වැළකීම තිරසාර පරිභෝජනයේ ප්‍රධානම අංගය වේ.
  2. (Reduce) අඩු කරන්න: දිගු කල්පැවැත්මක් සහිත භාණ්ඩ මිලදී ගැනීම තුලින් නැවත නැවත භාණ්ඩ මිලට ගැනීම අඩු කරගත හැක. එසේම අවම ඇසුරුම් හෝ ආවරණ සහිත භාණ්ඩ මිලට ගැනීමට හුරුවීම වැදගත් වේ. 
  3. (Reuse) නැවත භාවිතා කිරීම: ඔබ මිලට ගත් භාණ්ඩ පරිභෝජනයෙන් පසු අපද්‍රව්‍ය ලෙස බැහැර නොකර ඒවා නැවත නැවත භාවිතයට ගත යුතුය. එය නිර්මාණශීලී ලෙස ඔබේ එදිනෙදා අවශ්‍යතා වලට යොදා ගත හැකි අවස්ථා සුලබ විය හැක. 
  4. (Recycling) ප්‍රතිචක්‍රීකරණය: ඔබ පරිභෝජනය සඳහා යොදාගත් දේ භාවිතයෙන් පසු අපද්‍රව්‍ය ලෙස බැහැර නොකර ප්‍රතිචක්‍රීකරණය සඳහා යෙදවිය හැක. 
  5. (ROT) කොම්පෝස්ට්: නිවසේ කාබනික අපද්‍රව්‍ය වන ඉවතලන එළවලු, පලතුරු කොටස් සහ ගෙවත්තේ කසල, අපද්‍රව්‍ය ලෙස නිවසින් බැහැර නොකර කොම්පෝස්ට් බවට පත් කිරීම තුලින් එය ගෙවතු වගා සඳහා හොඳ පොහොරක් ලෙස භාවිතා කල හැක.    

මෙම සරල සහ අඩු පිරිවැය සංකල්ප ඔබේ එදිනෙදා ජීවන රටාවට එකතු කර ගැනීම තුලින් තිරසාර, පරිසර හිතකාමී සහ සම්පත් නාස්තිය අවම වන ජීවන රටාවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.

තිරසාර පරිභෝජනය

අප එදිනෙදා ගත කරන ජීවන රටාව තුල සිදු කල හැකි සරල වෙනස්කම් තුලින් තිරසාර ජීවන රටාවකට පරිවර්තනය වීමට අපට හැකියාව ඇත. එය ඔබේ එදිනෙදා ජීවන රටාව පහසු කරන, සරල කරන සහ කැපී පෙනෙන විලාසිතාවකි. නත්තල් උත්සව සමයත් සමගම සාප්පු සවාරි, තෑගී භෝග, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සැරසිලි සහ විනෝද සාද සුලබ වේ. මේ උත්සව සමයේ ඔබේ ක්‍රියාකාරකම් තිරසාර කරගැනීමට ඔබට බොහෝ තේරීම් ඇත. ඒවා ඉතාමත් නිර්මාණාත්මක, ආකර්ශනීය, සත්ව හිංසනයෙන් තොර සහ දේශගුණික හිතකාමී වීම සාධනීය ලක්ෂණ වේ. උදාහරණයක් ලෙස ඔබේ ආදරණීයයන්ට තෑගි දීමට භාවිත කරන පොලිතීන් හෝ වෙනත් ආවරණ සහ රිබන් වලින් මිදී පරිසර හිතකාමී තෑගි ආවරණ සැරසිලි භාවිතය, තම සමීපතයන්ට පරිසර හිතකාමී තෑගි භෝග තිලිණ කිරීම සහ සාප්පු සහ සුපිරි වෙළඳසැල් අසීමිතව සපයන පොලිතීන් මලු ප්‍රතික්ෂේප කිරීම වැනි සරල සහ වටිනා පරිචයන් ගැන ඔබ සිතා තිබේද? එසේ නැත්නම් මේ ඒ ගැන සිතන්නට හොඳම කාලයයි.

තිරසාර පරිභෝජනය පිලිබඳ අවධානය යොමු කිරීමේදී පාරිභෝගිකයන්ට ඒ කෙරෙහි කැමැත්තක් සහ උනන්දුවක් තිබුනත් එවැනි භාණ්ඩ හා සේවා වෙළඳපොලේ සුලබව ලබාගැනීමේ අවස්ථා තවමත් සීමිත වේ. එමනිසා මේ සමග එළඹෙන වසරේදී ඔබට තිරසාර පරිභෝජන රටාවකට යොමු වීමට මගපෙන්වීමක් ලෙස එවැනි භාණ්ඩ සහ සේවා ලබාගත හැකි ස්ථාන එසේ නැත්නම් ආයතන කිහිපයක් ඉදිරිපත් කර ඇත.

තිරසාර තෑගි සහ අනෙකුත් පරිභෝජන භාණ්ඩ:

https://selyn.lk/
http://trickledown.lk/
http://www.backtoearth.lk/
https://www.ecokade.com/
https://www.ecoproductslk.com/

තිරසාර තෑගි සහ අනෙකුත් පරිභෝජන භාණ්ඩ:

https://anantasustainables.com
http://www.cally.lk/
https://www.facebook.com/bhumi.srilanka/?ref=page_internal
https://www.facebook.com/planet.lovers.LK/

ගෙවුන 2020 වසර තුල SLYCAN Trust සහ Meatless Monday සමගාමීව සංවිධානය කරන ලද වැඩසටහන් තුලින් තිරසාර ජීවන රටාව පිළිබඳව වඩාත් විස්තරාත්මක තොරතුරු දැනගැනීමට ඒ හා සම්බන්ධ ප්‍රවීණයන්ගේ අදහස් පිලිබඳව දැනගැනීමට පහත වැඩසටහන් පරිශීලනය කල හැකිය.  

https://www.slycantrust.org/virtual-summit-on-resilient-and-regenerative-food-systems
https://www.slycantrust.org/virtual-summit-on-just-transition
https://www.slycantrust.org/the-global-youth-forum-on-climate-change

2021 වසරටගෙවුන වසර තුල පාරිසරික, සමාජීය සහ ආර්ථික වශයෙන් ඇති වූ පසුබෑම් තුලින් තිරසාර සංවර්ධනය යන සංකල්පයෙහි වැදගත්කම සහ අවශ්‍යතාව මනාව පෙන්නුම් කරන ලදී. එමනිසා එළඹෙන වසරේදී අප විසින් පාරිසරික, සමාජීය සහ ආර්ථික පැතිකඩ ත්‍රිත්වයම සමබර වන සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම වැදගත් වේ. මේ වෙනුවෙන් පුද්ගලයන් වශයෙන් අපගේ ජීවන රටාව වඩා තිරසාර, පරිසර හිතකාමී සහ දේශගුණික හිතකාමී බවට පත් කරගැනීමට උත්සහ කිරීම අප සැමගේ වගකීමක් වේ. අවසාන වශයෙන් Meatless Monday කණ්ඩායමේ නව වසර උදෙසා ප්‍රාර්ථනාව මෙසේ එක්  කරන්නෙමු. එළඹෙන 2021 වසර ස්වභාවික ව්‍යසනයන්ගෙන් තොර, දේශගුණික හිතකාමී සහ සත්ව හිංසනයෙන් තොර තිරසාර නව වසරක් වේවා!


Posted

in

by

Tags: