ජපන් රසට වීගන් කන්න හොදම තැන සුෂි කායි (Sushi Kai)

සුෂි කායි කතාවට කලින් Meatless Monday Sri Lanka කණ්ඩායම ගැන කියලම ඉන්න වෙනවා. සුරම්‍යා, ඩාස්ෂාජනී, මම අද දවස යොදාගත්තෙ ඔයාලා වෙනුවෙන් Vegan ආහාරවේලක රස මිහිර ඔබට කියන්න. 

අපි හැමදාම එකම විධියෙ තැන්වලට නොයා වෙනස් වෙනස් විධියෙ තැන්වලට යමු කියලා සුරම්‍යා යෝජනා කළා. කවදත් වෙනසකට කැමැති මම එක පයින් මේ කතාවට එකග වුණා. ඩාස්ෂාජනීත් හිස වැනුවා. ඒ කියන්නෙ යෝජනාව ස්ථීරයි කියන එකනෙ.

දැන් ඔයාලා හිතනවා ඇති අපි හැමදාම ගියෙ එක සමාන තැන්වලටද කියලා. නෑ එහෙම නෙමෙයි. අපි මේ කිව්වෙ ආහාර වට්ටොරුවලත් රටකින් රටකට වෙනස්වෙන වීගන් ආහාර, නැතිනම් වෙනස් විධියෙ වීගන් කෑම හදන අලුත් අලුත් කෑම වට්ටෝරු හොයාගෙන යන අපේ Meatless Monday Sri Lanka චාරිකාවට නව මුහුණුවරක් ගෙන එමු කියලා.

සුෂි කායි අවන්හල (Sushi Kai Restaurant)

සුෂි කායි. මේක ජපන් නමක්. අපි සුෂි කායි යමු කියලා සුරම්‍යා කිව්වාම ඩාස්ෂාජනිට තිබුණ ප්‍රශ්නවලින් එකක් තමයි ඒක කොච්චර දුර තැනක් ද කියන එක. ඩෙනිස් මේ ප්‍රශ්නෙ ඉක්මනින්ම ලිහලා දුන්නා. සුෂි කායි තියෙන්නෙ ජාවත්ත පාරේ. අපේ කාර්යාලයේ ඉදන් නම් ඇවිදගෙන යන්න වුණත් පුළුවන් දුරක. 

හරියටම ලිපිනය කියනවා නම් 143A, ජාවත්ත පාර, තිඹිරිගස්යාය,කොළඹ 05. දුරකථන අංකයක් තියෙනවා 0771566568. උදෑසන 11 ඉදන් මේ තැන විවෘතයි.

දැන් ජපන් දන්න අය බලනවා ඇති කායි කියන්නෙ සාගරය, මුහුද වගේ, සුෂි කියන්නෙ විශේෂිත ජපන් ආහාර බදුනක්. සුෂි කියන වචනයේ මුල් අර්ථයට ගියොත් නම් ලුණු දැමු මාලු කියන අදහස තියෙන්නෙ. නමුත් කාලයක් තිස්සෙ වෙනස්වෙලා සුෂි කියලා ප්‍රණීත අහාර බදුනක් හැදෙනවා. හැබැයි වෙනස් වෙනස් විධියෙ කෑම වර්ග රැසකින් සමන්විත වෙලා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අරන් බැලුවත් සුෂි ගැන තියෙනවා හැබැයි සීතල බත් එක්ක මාලු හෝ මුහුදු පැලෑටි කියන අදහස තමයි එහි ලියලා තියෙන්නෙ.

හරි. ඒ සුෂි ගැන ඉතිහාසයෙන් ඇබිත්තක්. දැන් වීගන් කන්න උනන්දු කරන ළමයි මුහුදු කෑම බහුල ජපන් අවන්හලකට ගිහිං මොනවා කරයිද ? කියලා බලාගන්න මේ ලිපිය අවසන් වෙනකම් කියවන්න වෙනවා. 

ඇත්තටම අපේ මේ ගමනෙ එක් පණිවුඩයක් වුණෙත් ඔනෑම අවන්හලක වීගන් අහාර සදහා තැනක් නිර්මාණය කරදීම. අපි මේ දක්වා ගියපු හැම තැනකදිම, වීගන් ආහාර ඉල්ලුවොත් ඒ අවනහල, හෝටලය, කඩය මේ මොන තැන වුණත් පැකිලෙන්නෙ නැතිව වීගන් අර්ථය අරගෙන ඔබට කෑම වේල පිරිනමන පරිසරයක් ඇති කිරීමත් අපේ එක අරමුණක්. බොහෝ තැන්වලදි මිස්ලා සර්ලා වෙජිටේරියන්ද ඇහුවම අපි වීගන් කියලා කියන මුලුමනින්ම නිර්මාශවන ( කිරි හෝ බිත්තර නොමැති) අහාර ගැන වේටර් මහත්වරුන්ගෙ ඉදන් ප්‍රධාන චෙෆ් දැනුවත්වෙන තැන දක්වා පුංචි පණිවුඩයකුත් ගෙනියන්න අපට හැකිවෙනවා.

වීගන් ආහාර ගන්න හැමෝම වෙනුවෙන් කරන සද් කාර්ය තමයි ඒ. වැඩිවෙලා ගිය නැති නිසා ඩාස්ෂාජනී සහ මම සුෂිකායි අවන්හලට ආවා. ගිනි ගහන අව්වක් මැද මහ දවල් ආපු අපට සුෂි කායි අවන්හලට ඇතුළුවුණාම ඒ ඈලි මෑලි ගති නැතිව ගියා. 

සුරම්‍යා අපි වෙනුවෙන් ඒ වෙනකොට වෙනම මේසයක් වෙන් කරවලා තිබුණා. (ඔයාලත් එහෙම කරන්න අවශ්‍යය නැහැ) නමුත් එහෙම වෙන් කරගන්න වුණත් පුළුවන්. බොහෝ වෙලාවට ගොඩක් පිරිස සුෂි කායි එන නිසා සුරම්‍යයා ඥානාන්විත වැඩක් කළා කියලයි අපි එතනට ගියාම දැනුනෙ. මොකද අපි ගිහිල්ලා පොඩි වේලාවක් ඇතුළත සියලු මේස පාරිභෝගිකයන්ගෙන් පිරී ගියා . 

ඒ අතරෙ සුරම්‍යාත් අවා. අපිට දැන් හොදටම බඩගිනියි. කෑම වට්ටෝරු මේසෙට ගෙනත් දුන්නා. සුරම්‍යා අපි කෑම වර්ග තීරණය කරනකොට අපේ වේටර් මහත්මයා දුන්න සහයෝගය කියලා නිම කරන්න බැහැ. අපි එයාට වීගන් කිව්වාම, එයා දන්න දේවල් එයාම විසදලා. අනෙක් දේවල් චෙෆ්ව දැනුවත් කරන්නත් ඉදිරිපත්වුණා. ඒ අතින් සේවාව අතිවිශිෂ්ටයි. අප අණවුම් කළ බීම වර්ග මෙසෙට එන්න කලින්ම අපට ආවේ උණුසුම් ග්‍රීන් ටී පානයක්. 

යුෂ පාන (Juices)

Watermelon juice (රු.360)

Kai Glass ( Ginger & Lemongrass) (රු. 400)

Kai Lime & Ginger (රු. 400)

පැණි කොමඩු ඩාෂ්සාජනීට, සේර සහ ඉගුරු පානය මට, සුරම්‍යා දෙහි සහ ඉගිරු පානය. මේ තුනම මිනිත්තු කිහිපයක් තුළ පැමිණියා. අපි වෙන වෙනම තුන් දෙනාම මේ යුෂ පානය කරන්න හැදුවට, සුරම්‍යාට සේර කියන්නෙ දකින්නවත් බැරි ඇලජික් එකක්. හැබැයි එක් එක් අයට මේ පාන තුනම නැගලා ගියා. මට නම් මේ සේර හා ඉගුරු පානය ආගන්තුකයි. ඒත් මරු.

සුප් පානය (Soups)

මිසෝ (Miso) රු 300

අපි කවුරුත් මිසො සුප් එකක රස බලලා තමයි අපේ ප්‍රධාන ආහාර වේල ගැන හිතන්න බැලුවේ. කලින්ම ඇණවුම් කළ නිසා මිසෝ සුප් එක කලට වෙලාවට මෙසේ මතට ආවා. 

ෂා ඒකේ මාර වැඩක් වෙනවා යැයි සුරම්‍යා අපට සුප් එක ඇතුලට එබී බලන්න ඇරයුම් කළාය. වාව් මෙන්න සුප් එකේ නැටුමක්. ඒක නොනවතින නර්තනයකි. මට නම් පෙනුනේ නොනවැති ලාවා පිට කරන ගිනි කන්දක් ජලය තුළ සක්‍රිය වී ඇති සෙයකි. නමුත් එය පුදුමය දනවන සුළුය. ඇත්තටම මොහොතක් බලා සිටීමට කදිම පානයකි. ඉන් කියාපෑවේ එහි නැවුම් හා සුවිශේෂිබවය.

මිසො සුප් සකසන්නෙ සොයා වලින් බව වේටර්වරයා කීවේය. ටෝෆු, මුහුදු පැලෑටි,තල ඇට,ලූණු කොළ වලින් රසවත්වු මිසො සුප් එක සියයට සියයක් වීගන් බව ඔහු අපට තහවුරු කළේය. සුරම්‍යයා කීප වතාවක්ම ඒ ගැන විමසුවාය. 

මම දන්නවා මාලු වැඩ ගොඩක් තියෙනවා ඔයාලගේ කෑමවල මේකට මොකුත් මාංශ වැටුනෙ නෑ නේද ? සුරම්‍යා ඔබ වෙනුවෙන් ඒ ප්‍රශ්න ඇසුවේ ඇස්ගෙඩි ලොකුකරගෙනය. මේ කතාවට දෙතුන් වතාවකට වඩා වේටර්වරයා බය බිරාන්ත වුවාදැයි මට සැක මතුවිය. නමුත් ඔහු අපට නැවත නැවත විශ්වාසය තහවුරු කළේය.

අපත් රස බැලු සුප් පානයට වඩාත් ඇලුම් කළේ ඩාෂ්සාජනීය. අපි ඇයටම සුප් පානයට වගකියන ලෙස ඇවටිලි කළෙමු. ඇයත් එය සතුටින් භාරගන්තාය.

  • ප්‍රධාන ආහාරවේල

වෙජ් රෝල් (The Veg Roll) රු. 600

අපි ප්‍රධාන ආහර වේලට ඇණවුම් කරපු දෑත් ඔන්න අපි කතා කර කර ඉන්න අතරෙම එකින් එක මේසය මතට ආවා. ඒ ආහාර දැකපු ගමන් නැවුම් බවක් පෙනෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි අර ජපන් කෑමවල තියෙන වෙනස්ම ආකෘතිය මේසෙ මතට ආවාම හරිම ලස්සනයි. කෑම හදනවාට වඩා ලස්සන කරගන්න වෙලාව ගිහිල්ලද කියලා හිතෙන තරමෙ වෙනස් අත්දැකීමක් ජපන් ආහාරවේලක තියෙනවා. 

වීගන් කියලා නෑ. කෑම මේසයම ලස්සනයි. මුලින්ම කාගෙ වුණත් හිත තමයි  පිරෙන්නෙ.

වෙජ් රෝල් එක හැඩවෙලා තිබුණේ කහ පාට සහ රතු බෙල් පෙපර්වලින්, පිපිඤ්ඥා,ෂිතාකෙ හතු,ක්‍රීම් චීස්, අහාර ඉහළට දමන දෑ (topped) ඉගුරු සහ නොයෙකුත් දෑවලින් මේ ප්‍රනීත ආහාරවේල නිර්මාණය වෙලා තිබුණා. හැබැයි මේ වෙජ් රෝල් එක වීගන් නෙමෙයි කියලා අපි දැනගත්තෙ අපි හැම කෑමක්ම මෙසේ මතට ආවම අහන ප්‍රශ්න නිසා. චීස් දාපු නිසා අපි මේ වීගන් චීස් ද කියලා ඇහුවා. ඔවුන් එය වීගන් චීස් නොවන බව පැහැදිලි කළා. ඒ නිසා ඔන්න වීගන් ඔබ නම් වීගන් චීස් දාලා මේ වෙජ් රෝල් එක හදලා දෙන්න පුළුවන්ද අහන්න ඔන.

ටෙම්පුරා (Tempura) රු. 600

ලූණු, වම්බටු,අර්තාපල්, බණ්ඩක්කා, වට්ටක්කා සිහින්ව ලියා  වීගන් බටර්වල දවටනයක් සහිතව බැද තිබු කෑම සොයා සෝස් සමග අපුරු රසයක් දනවනවා. මේ හැම කෑම වර්ගයකටම ලැබෙන සෝස් වර්ගය එකිනෙකට වෙනස්වීමත් මේ අවන්හලේ ඔබට විදින්නට තිබෙන තවත් අපුරු අත්දැකීමක්. ඒ නිසා ඒ ඒ කෑමට ලැබෙන සොස් එක සමග රස බලන්න අමතක කරන්න එපා. 

සුදු ලූණු බත් (Garlic Rice) රු. 480 

සුදු ලූණු බත් පිගාන ප්‍රණීත සුවදක් ගෙනආවා. ඒ විතරක් නෙමෙයි මේ බත් පීරිසිය මතට ලූණු කොළ සහ මුහුදු පැලෑටි සිහින්ව ලියා උඩින් දමා තිබුණා. බත් සමග කන්න අපි තව කෑම වර්ග දෙකක් ඇණවුම් කර තිබුණා.

ටෙරියාකි ටෝෆු (Teriaki Tofu) රු.460

ටෙපන්යාකි ෂිටාකේ හතු (Teppanyaki Shitake Mushrooms) රු. 590

ටෝෆු කියන කෑම වර්ගය නම් වීගන් රස සොයන්නන්ට අමුතු කෑමක් නෙමෙයි. ෂිටාකේ හතු ගැනත් බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි මම වගේ ඒ ගැන තාමත් තව විස්තර සොයාගෙන යන අය ඉන්න පුළුවන්. මේ කෑම වර්ග දෙකම හරිම රසයි. ටෝෆුවලට දමා තිබු පිටත මිශ්‍රණය මුහුදු මාලු කෑමකට අදාල එකක් දැයි සුරම්‍යයා බොහෝ වෙහෙස මහන්සි වී සැක හැර ගත්තා. ෂිටාකේ හතු එක මට නැගලා ගියා. එහෙම කියන්නෙ අර ගොඩක් රහ දැණුනා. දෙහි ඇඹුල් ටිකත් වැටුණම පන්කාදුයි. ඔන්නඔහොමයි අපේ දවල් ආහාරය අද භුක්ති වින්දෙ. වීගන් ලෝලීන් නිවසෙන් පිට ආහාර වේලකට යනවා නම් මේ වගේ තැන් ගැන අපි කියන තොරතුරු වැදගත්වේවි. 

ඒ වගේම Meatless Monday Sri Lanka කණ්ඩායමට ඔබේ අවන්හලට ඇවිත් වීගන් කෑම ගැන මුළු ලෝකෙටම කියන්න සුදානම්. අපේ විශේෂත්වය තමයි. අප ඉටුකරන මේ සද්කාර්ය සිංහල ඉංගිරිසි දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පාඨකයා, පාරිභෝගිකයා, නැත්නම් වීගන් ලෝලියා අතට පත්වීම. ඉතිං ඒ නිසා දෙස් විදෙස් කාට වුණත් අපේ ෆෙස්බුක් පිටුවට ඇවිත්, අපේ නිල වෙබ් අඩවියට ඇවිත් ලංකාවේ වීගන් කෑම අවන්හලවල් ගැන විවිධ තොරතුරු දැනගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි. වීගන් කෑම හැදෙන තැන්ගැන ඔබ දන්නා තොරතුරුත් අපට කියන්න. අපි ඔබේ තැනට ඇවිත් මේ විධියට ඔබේ ආහාර වට්ටෝරුව ගැන ලෝකෙටම කියන්න සුදානම්. 

අවසන් වශයෙන් සුෂි කායි අවන්හලේදි අපි අහපු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නම මේ අවන්හලේ හිමිකරුම අපේ මේසය ළගට අවා. ඔහු ඉතා නිහතමානි චරිතයක්. මම එහෙම කියන්නෙ නම ඇහුවමත් ඔයාලා ඔහුව දන්න නිසා. පසිදු පීරිස්. ඔහු ශ්‍රි ලංකාවේ අංක එකේ මෝටර් රථ ධාවකයෙක්. ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක හිමිකරුවෙක්. මේ එක දෙයක්වත් අපට ඔහු කිව්වෙ නැහැ. 

නමුත් මම දන්න නිසා ඒකත් නොලිව්වොත් මදිකමක්. පසිදු ඇවත් මේ සුෂි කායි අවන්හල නිර්මාණය වීමට පාදක වෙච්ච සිදුවීම විධියට කිව්වෙ තමන්ගෙ බිරිද සහ හොදම යහළුවා දෙදෙනාම වීගන් වීම. 

ඔන්න ඉතිං ඒ නිසා අපිත් වාසනාවන්ත වුණා. උසස් මට්ටමේ සුෂි කෑම වට්ටෝරුවක රසවත්, ප්‍රණීත හා ගුණාත්මක කෑම වේලක් කොළඹ 05 ජාවත්ත පාරේ සුෂි කායි අවන්හලෙන් භුක්ති විදින්න. ඉතිං දැන් ජපානෙ ඉන්නවා වගේ ඇගට දැනෙන්නෙ. අර කෝටු දෙකෙන් (chop stick) කෑම ටික අල්ලලා මාත් කෑවා. ඒක නම් මට පුරුදුවුනේ චීනයෙදි. කොහොමෙන් කොහොමහරි අපි ඔන්න සුෂි අවන්හල ගැනත් ඔබට විස්තර ගෙනාවා. සුරම්‍යා තමයි අපට මේ තැන ගැන කිව්වෙ, එයාට මේක කිව්වෙ එයාගේ වෙජි යාලුවො. අපි ඔන්න ඔක්කොටම එකට තියලා ස්තුති කරනවා. ආයෙ දවසක හමුවෙමු. එදාටත් මේ වගේම රසවත් කෑම වේලක ගුණ මිහිර අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම 2020 ආදරය පිරුණු, සතුට ඉතිරෙන, වීගන් ආහාරවලින් දිව කුල්මත්වෙන සුබම සුබ නව වසරක් වේවා !

මම රමේෂ් වරල්ලෙගම 


by

Tags: