ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ඇතිකරන බලපෑම

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ඇතිකරන බලපෑම

සූර්ය තාපය මගින් අප ජීවත්වන පෘථිවිය උණුසුම් වන බව සැවොම දන්නා කරුණක් වන අතර ජීවීන්ගේ පැවැත්මට සූර්ය ශක්තිය අත්‍යවශ්‍යම සාධකයකි. පෘතුවිය වෙත පතිත වන සූර්ය කිරණයන්ගෙන් 90% ක්ම නැවත වායු ගෝලය වෙත පරාවර්තනය වේ. හරිතාගාර වායු එනම් කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NO3), ඕසෝන් (O3), මීතේන් (CH4), ජල වාෂ්ප (H2O) සහ ක්ලෝරො ෆ්ලොරො කාබන් (CFC) වලට මෙම පරාවර්තනය වන සූර්ය කිරණ ග්‍රහණය කරගැනීමේ හැකියාවක් පවතින අතර පෘථිවිය ආසන්න වායු ගෝලයේ හරිතාගාර වායුව ඉහල යාම මගින් පරාවර්තනය වන සූර්ය කිරණ වැඩි ප්‍රමාණයක් ඉහල වායු ගෝලයට පරාවර්තනය නොවී පහල වායු ගෝලය තුල රැදී පවතින අතර එමගින් පහල වායු ගෝලය සහ පෘථිවියේ මතුපිට උෂ්ණත්වය ඉහල යාමට හේතු වේ.  වන විනාශය, ෆොසිල් ඉන්ධන දහනය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම හරිතාගාර වායු විශාල වශයෙන් ඉහල යමින් පවතින අතර මෙය ජීවී පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කරමින් පවතී. වනාන්තර, කාන්තාර, උෂ්ණ කලාප, දූපත්, ධ්‍රැව, කඳු පද්ධති, තෙත් බිම්, වගුරු, වෙරළාශ්‍රිත වගුරුබිම් සහ කොරල් යන පරිසර පද්ධති වඩාත්ම අවධානම් කලාප වන අතර උෂ්ණත්වය මෙන්ම වර්ෂාපතනය, වලාකුළු, දේශගුණික විපර්යාස  මගින් මෙම පරිසර පද්ධති විශාල වශයෙන් අවධානමට ලක් වී ඇත. විශේෂයෙන්ම මෙම ලිපිය මගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි ගෝලීය උෂ්ණත්වයෙහි බලපෑම සාකච්චා කරන අතර ආහාර සුරක්ෂිතතාව මේ වන විට ලෝකයෙහි වඩාත් අවධානය යොමු වී ඇති මාතෘකාවකි. තිරසාර සංවර්ධන ඉලක්කයන් තුලද අන්තර්ගත වන කුසගින්න නැති කිරීම සහ තිරසාර පරිභෝජනය යන අංශ මගින් ගෝලීය ප්‍රජාව දැනටමත්  මුහුණ දෙමින් පවතින ආහාර අර්බුධය පෙන්නුම් කරනු ලබයි. 

  • ආහාර දාම මත පදනම් වූ පරිභෝජන රටාව

පෘථිවි ගෝලය තුල ආහාර පද්ධතිය, ආහාර දාමයන් මත ගොඩනැගී ඇත. ආහාර දාමයක් යනු එක් ජීවියෙකු තවත් ජීවියෙකු ආහාරයට ගන්නා විට පෝෂ්‍ය පදාර්ථ හා ශක්තිය ජීවීන් අතර ගමන් ගන්නා ආකාරය දක්වන රේඛීය අනුක්‍රමයකි. ගෝලීය ආහාර පද්ධතිය මෙවැනි ආහාර දාම සමුහයකින් බැඳි ආහාර ජාලයකි.  ආහාර දාමයන්  පිළිබඳව සැලකීමේදී සෑම ආහාර දාමයක්ම ශාක මත පදනම්ව ක්‍රියාත්මක වේ. එනම් ගෝලීය ආහාර පද්ධතිය තුල සෑම විටම ආරම්භය එසේ නැත්නම් නිශ්පාදකයා ශාකයකි. එම ශාකමය ආහාරය මත පදනම්ව ශාකභාක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක පරිභෝජකයන් නිර්මාණය වේ. ආහාර දාමයේ පාමුල ප්‍රාථමික නිෂ්පාදකයින් සිටී. ප්‍රාථමික නිෂ්පාදකයින් බොහෝ විට ශාක, ඇල්ගී හෝ සයනොබැක්ටීරියා වැනි ප්‍රභාසංස්ලේෂක ජීවීන් වේ. ප්‍රාථමික නිෂ්පාදකයින් අනුභව කරන ජීවීන් ප්‍රාථමික පරිභෝජකයන් ලෙස හඳුන්වන අතර මෙම ජීවීන් සාමාන්‍යයෙන් ශාක භක්ෂකයන් වේ. ප්‍රාථමික පරිභෝජකයන් අනුභව කරන ජීවීන් ද්විතීයික පරිභෝජකයන් ලෙස හඳුන්වන අතර මෙම ජීවීන් මාංශ භක්ෂකයින් වේ. ද්විතියික පරිභෝජකයන් අනුභව කරන ජීවීන් තෘතියික පරිභෝජකයන් ලෙස හැඳින්වේ. මොවුන් රාජාලීන් හෝ විශාල මාළු වැනි මාංශ භක්ෂකයින් ආහාරයට ගන්නා මාංශ භක්ෂකයින් වේ. සමහර ආහාර දාමයන්හි අතිරේක මට්ටම් ඇත, එනම් චතුර්ථක පරිභෝජකයන් වන තෘතීයික පරිභෝජකයන් අනුභව කරන මාංශ භක්ෂකයින්ය. 

එක් ජීවියෙකු තවත් ජීවියෙකු අනුභව කර එම ජීවී ශරීරයෙන් ශක්තිය ලබා ගැනීම ආහාර දාමයෙදී සිදුවන අතර සාමාන්‍යයෙන් එක ජීවියෙකුගේ ශක්ති ප්‍රමාණයන්ගෙන් 10% ක ප්‍රමාණයක් පමණක් අනෙක් ජීවියාට ගමන් කරයි. එම නිසා දිගු ආහාර දාමයන් වල ශක්තීන් සම්ප්‍රේෂණය අකාර්යක්ෂම වේ.  මේ අනුව ප්‍රාථමික නිශ්පාදකයා තුල කිලෝ කැලරි 10000ක ශක්තියක් අන්තර්ගතව තිබුනේ නම් ප්‍රාථමික පරිභෝජකයාට කිලෝ කැලරි 1000ක්, ද්වීතික පරිභෝජකයාට කිලෝ කැලරි 100 ක්ද ගමන් කරයි. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් ශාකමය ආහාර තුල ඉතා ඉහල ශක්තියක් ගැබ් වී ඇති බවයි. එබැවින් නිර්මාංශ ආහාර වලට වැඩිපුර නැඹුරු වීම තුලින් වැඩි ශක්තියක් ශරීරයට ලැබෙන අතර අප “නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය” මගින් ප්‍රවර්ධනය කරනු ලබන මාංශ අනුභවය අඩු කිරීම කෙරෙහි උත්තේජනයක් මෙමගින් පැහැදිලි කරනු ඇත.  

  • ආහාර දාමයන් කෙරෙහි ගෝලීය උෂ්ණත්වය ඉහල යාම බලපාන ආකාරය   

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩිම අවධානමකට මුහුණ දෙන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය හඳුනා ගත හැක. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ඍජුවම ශාක වර්ධනය කෙරෙහි බලපාන අතර මේ හේතුවෙන් 10-50% ත් අතර ශාක වර්ධනයේ අඩුවීමක් දක්නට ඇති බව වාර්තා වේ. උෂ්ණත්වයේ ඉහල යාම මගින් ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන තෙතමනය, ජලය සීමා වන අතර එමගින් පසෙහි සාරවත් බව අඩුවීම ඇතිවී ශාක වර්ධනය අඩාල වේ. මීට අමතරව ගංවතුර, නියඟ, නායයාම් සහ සුනාමි වැනි ස්වභාවික විපත් හේතුවෙන් ද ප්‍රාථමික නිෂ්පාදනය අඩු වේ. එසේ ලෝකය තුල පවතින ශාකමය ආහාර වල අඩුවීමක් ඇති වුවහොත් එය ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක සියලු ජීවීන්ගේ පැවැත්මට ඍජු බලපෑමක් එල්ල කරනු ලබයි. මක්නිසාද යත්, ප්‍රාථමික නිෂ්පාදකයන් වන ශාක නොමැති විට ශාක භාක්ෂකයන්ගේ වර්ධනය සීමා වන අතර, ශාක භක්ෂකයන් අඩු වන විට මාංශ භාක්ෂකයන්ගේ වර්ධනය සීමා වේ. 

අවසානයේදී අවධාරණය කරගත යුතු කරුණක් වන්නේ, කුමන ආහාර රටාවක් අනුගමනය කලද සැමවිටම අප ශාකමය නිෂ්පාදයකුගෙන් ආරම්භ වන ආහාර දාමයක එක් පුරුකක් බවයි. එබැවින්, තිරසාර පරිභෝජන රටාවක් කරා යන ගමනේදී ශාකමය නිෂ්පාදකයන්  වර්ධනය කිරීම ගෝලීය ආහාර පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා වඩාත් වැදගත් වේ. කෘෂිකර්මාන්තය සහ ගෙවතු වගාව ප්‍රවර්ධනය ඒ සඳහා විශාල දායකත්වයක් සපයනු ලබයි. එමගින් ඇති වනු ලබන ආහාර දාම මගින් විශාල ජීවීන් ප්‍රමාණයක් යැපෙනු ලබන අතර ගෝලීය ආහාර සැපයුම ඉහල නැංවීමටද දායක වේ. අවසන් වශයෙන්, පෘථිවිය තුල ජීවත් වන සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු වන තිරසාර ආහාර පරිභෝජන රටාවකට හුරු වීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.  

අර්ථවත් වෙසක් දිනයක – මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට .

අර්ථවත් වෙසක් දිනයක – මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට .

Photo Credits : Sivaneswaran Chandrasekaran

සම්මා සම්බුදුරාජණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑමේ තෙමගුල සිහි කොට බෞද්ධ බැතිමතුන් බුදු ගුණ සිහි කරමින් ප්‍රතිපත්ති හා ආමිස පුජා පවත්වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.

ආගමික භේදයක් නොදකින අපි Meatless Monday Sri Lanka Team කණ්ඩායම වශයෙන් අප සමග සහෘදවී සිටින සියලුම බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ! පාර්ථනා කරන්නෙමු. 

ලොව පුරා පැතිර යමින් තිබෙන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙවර  වෙසක් මංගල්‍යය සුවිශේෂි සන්ධිස්ථානයක් පසු කරයි. වෙනදාට ආටෝප සාටෝප බහුල වෙසක් දිනය අද එම දවසේ ඇති සුවිශේෂී අර්ථයට සීමාවෙමින් සැමරීමට ස්වභාව ධර්මයෙන්ම ඉඩ සලසා තිබේ. 

වෙසක් දිනය මීටපෙර වෙන්වුයේ වැඩි වශයෙන් ආමිස පුජාවට තැනක් ලබා දෙමින් යැයි ඇතමෙක් කල්පනා කරති. ඊට හේතුව ප්‍රතිපත්ති පුජා අභිබවා යමින් ආමිෂ පුජාවට සමාජයේ ලැබුණු ඉඩ ප්‍රස්ථාවයි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය  ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද පුජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමියෝ මෙවර වෙසක් පොහොය සුවිශේෂී වීමට හේතුවී තිබෙන ධර්මතාව පැහැදිලි කළහ.

තථාගතයන් වහන්සේ ආමිස පූජාවට වඩා  ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛතාවය දී ඇත්තේ ප්‍රතිපත්ති පූජාව නිවන් මඟ පසක් කෙරෙන මාවත නිසයි. එබැවින් මෙවර සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට සැබෑවට ම ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පිදීමේ අනර්ඝ අවස්ථාව සැලසී තිබෙනවා. 

 රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් කිසිදු විහාරස්ථානයක සුපුරුදු වෙසක් පොහෝ දින ආගමික වැඩ වැඩසටහන් නොපැවැත්වෙන නමුදු සීලයෙහි වටිනාකම හා ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙන ඔබ සිය නිවස උපෝසථ සමාදානය සඳහා සුදුසු ම ස්ථානය බව කල්පනා කරන්න යැයි බෝපැත්තේ සෝමානන්ද හිමියෝ පවසති.

මෙම  වෙසක් සමය පුරාවටමත් ඉන්පසුවටත් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්ම පර්යායක් මතක් කර දීමට මම අදහස් කරමි. 

සංයුක්ත නිකායේ ඛන්ධ වග්ගයෙහි නකුලපිතු වග්ගයට අයත් පළමු සූත්‍ර දේශනාව නකුලපිතු සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි නම් නුවර භේසකලා නම් වූ මිගදායෙහි වැඩ සිටි සේක. නකුලපිතා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හිඳ තමාගේ ශාරීරික දුබලතාවයන් ප්‍රකාශ කරන්නට විය.

 තමා දැන් ඉතා මහලු බවට පත්ව ඇති බැවිනුත්, ඉතා වයෝවෘද්ධ බවට පත්ව ඇති බැවිනුත් නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට හා මහා සංඝරත්නය සමඟ දහම් සාකච්ඡාවන් සිදු කිරීමට පැමිණීමට නොහැකි බව ද දන්වා සිටියේය. 

අනතුරුව ඔහු බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. එනම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මට අනුකම්පා පිණිස දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතින අනුශාසනාවක්, අවවාදයක් කර වදාරණ සේක්වා යි යනුවෙනි.  එහිදී බුදුරජාණන් වහන්සේ නකුල පිතා අරමුණු කරගෙන මෙකී සුවිශේෂී ධර්ම පර්යාය දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ, ලෙඩවෙන ශරීරයක් උරුම මිනිසා සිත ලෙඩ නොකර ගන්නා වූ ප්‍රතිපදාවක් දියුණු කිරීමට මහන්සි විය යුතු බවයි.

මේ ගත වන්නේ වසංගත රෝග පීඩා සහිත සමයකි. බොහෝ දෙනෙකු ශරීරය ලෙඩ වීමට නොදී ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක්, මහන්සියක් දරනු ලබයි. එය සැබවින් ම පැසසීමට යුතු කරුණකි. එනමුත් ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් පවා නො පිළි ගනිමින් කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් වන්නේය. කෙසේ වෙතත් ගත ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට දරන වෙහෙස මහන්සිය සිත නිරෝගී බවට පත්කර ගැනීම සඳහා කොපමණ දුරට දරන්නේ ද යන්න ගැටළු සහගත ය.

 ගත රෝගී වීම වැලැක්වීමට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව විවිධ ක්‍රියාමාර්ග ගන්නා මිනිසා සිත රෝගී වීමෙන් වළක්වා ගැනීමට ගන්නා වූ ක්‍රියාමාර්ගය කුමක්ද ? අත්හැරීම ඇත්තේ එතැනය. ඒ අනුව නිවන් මග අවබෝධ කරගත හැකි මාර්ගය ඇතුළත් ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වා දුන් සේක. එම ප්‍රතිපදාව වඩමින්, දියුණු කරමින් ලෙඩ නොවන සිතක් පවත්වා ගැනීමට සියලු දෙනට හැකියාව තිබේ. 

බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ප්‍රායෝගිකව ජීවත් වෙමින් ලෙඩ නොවන නිරෝගිමත් සිතක් සකස් කරගන්නා ප්‍රතිපදාව දියුණු කිරීමට උත්සුක වුහ. ඒ ලෙඩ නොවන, නිරෝගිමත් සිත ඔබ නිවන් මඟ වෙත යොමු කරනු ඇතැයි අපේක්ෂාවෙනි. 

දාන, ශීල, භාවනා ආදී පින්කම් කිරීම නිවනට ළඟා වීමේ මාර්ගය යි. එහි දී ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු විස්තර කර ගත්තොත්, ‘දානයක් දෙනවා කියන්නේ තමන් සතු දෙයක් අත් හරිනවා කියන එක යි’ ශීලයක දීත් කරන්නේ අත්හැරීමකි. දානයක දී අත්හරිනවා යනු අපි කොහොමත්ම දන්නා කරුණකි. ශීලයේ දී අපි අත හරින්නේ කුමක් ද? පංච දුශ්චරිතය යි. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම අත්හැරීම, කාමයේ වරදවා හැසිරීම අත්හැරීම, බොරු කීම අත්හැරීම සහ මධ්‍යසාර භාවිතය අත් හැරීම යි. එසේනම්, දානයේ දී පමණක් නො වෙයි, අත් හැරීම සිද්ධ වෙන්නේ, ශීලයේදීත් සිද්ධ වෙන්නේ අත්හැරීමකි. භාවනාවේ දී පවා සිද්ධ වෙන්නේ අත්හැරීමකි. උදාහරණ වශයෙන් මෛත්‍රී භාවනාව ගනිමු. එහි දී අපි අත් හරින්නේ තරහ, වෛර, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අකුසල ධර්මයන් ය. එහි දී භාවනා වැකි වශයෙන් සඳහන් කරන්නේ, ‘මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ආදී වශයෙනි.

මේ නිසා අදවැනි උතුම් වෙසක් මංගල්‍ය දිනයක  මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට ..ඔබ යා යුතු මග ගැන ඉගියක් ලැබෙන බව සිහිපත් කළ යුතුයි. 

රමේෂ් වරල්ලෙගම 

සෞභාග්‍යා ගෙවත්තක් හදාගමු

සෞභාග්‍යා ගෙවත්තක් හදාගමු

මුළු ලොවම පසුකරමින් සිටිනුයේ දුෂ්කර කාලවකවානුවකි. මෙයට පෙර විවිධ වසංගත රෝ බිය කොතරම් පැතිර ගියද, මිනිසුන්තුළ විශ්වාසය පැළපදියම්වීම ඉතා කෙටි කලක් තුළ සිදුවිය. 

එසේත් නොමැති නම් ලෝකයේ ඇතැම් වසංගත හෝ ලෝක යුද්ධ මුළු ලොවටම බලපෑමක් වන තරමට ළගාවීමට පෙර නිමාවට පත්විය. කොවිඩ්-19 වසංගතය ඒ සියල්ල අභිබවා යමින් මුළු ලොවම මොහොතකට සොලවා අතහැර තිබේ. 

නිශ්චිත ලෙස රෝගයට ප්‍රතිකාර හමුවීම ප්‍රමාද වීම, එය නිර්මාණය වුයේ කෙලෙසදැයි නිවැරදි තොරතුරක් නොවීම වැනි විවිධ පරාසයන් ඔස්සේ කොවිඩ්-19 ලිහාගැනීමට නොහැකි අර්බුධයක් වී තිබේ. 

නමුත් බැලූ බැල්මටම මෙම වසංගතය ඔස්සේ සිදුවූයේ ඔබ අප කතාකරමින් සිටි මාතෘකාවකටම අදාල සන්සිද්ධීන්ය. දේශගුණ විපර්යාස අවම කරගැනීම සදහා මුළු ලොවම ප්‍රතිපත්ති සකස් කරමින් සිටියේද, ඇතැම් ප්‍රතිපත්ති රටවල් මට්ටමෙන් තිරසර සංවර්ධන ඉලක්ක දක්වා මෙහෙයවමින් සිටියේද ස්වභාවධර්මයට වැඩි අවධානමක් යොමු කළ යුතු බව පසක් කරමිනි.

කොවිඩ්-19 අපට දැන් උගන්වා ඇති පාඩමත් එයමය. වෙනදා සත්තු කූඩු කරමින්, ඔවුන්ගේ නිදහස අහිමිකොට ඔවුන්ව මරාගෙන කෑමට පුරුදුවු මිනිසුන්ටම, සත්තු නිරුපද්‍රිතව පරිසරයේ සිටියදී ගෙවල්වලට හිර වී අගුලු දාගෙන නිරෝධායනයට ලක්වීමට සිදුව තිබේ. 

Meatless Monday Sri Lanka Team අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනු ලැබුවේ නිර්මාංශ දිවි පෙවතක තිබෙන වැදගත්කමයි. අප ඔබෙන් අයැද සිටියේ සදුදාට පමණක් හෝ නිර්මාශ වන ලෙසයි. ඒ මැයෙන් ගත්කල බොහෝ දෙනාට දැන් නිර්මාංශ ආහාරවේලක රස ගුණ දැනෙන්නට පටන්ගෙන ඇති බව නොරහසකි. 

රසකාරක නොමැති, සෞඛ්‍ය සම්පන්න එළවළු පළතුරු පරිභෝජනයේ සුව අන් කවරදාටත් වඩා ඔබට දැන් දැනී ඇති බව අපි දනිමු. ගස් වැල් පලෙන් බර වෙමින් ඔබට මේ මොහොතේද උදව් වු සැටි සිහියට නගන්න. 

සෞභාග්‍යා ගෙවත්ත www.saubagya.lk මැයෙන් රජය ආරම්භ කර තිබෙන හෙට වෙනුවෙන් අද වවමු ව්‍යාපෘතිය පිළිබදව ඔබට යම් දැනුවත් කිරීමක් කළ යුතුයැයි අප තීරණය කළේ සෞභාග්‍යා ගෙවත්තක් ඔස්සේ ඔබට අත්වන වාසි පිළිබදව දැනුවත් කිරීම මෙන්ම ඔබ එදිනෙදා බීජ හෝ පැල වගා කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් උපදෙස් මාලාවක් එහි අන්තර්ගතව තිබෙන නිසාය.

ගෙවතු වගාවේදී සැලකිලිමත් වියයුතු විශේෂ කරුණුවල පටන් වැදගත් තොරතුරු රැසක් මෙම www.saubagya.lk වෙබ් අඩවියෙන් ඔබට දැනගත හැකිය.

එපමණක් නොව ඔබට අවශ්‍ය බීජ වර්ග ලබා ගැනීමේ හැකියාවද මෙම වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වේ. නමුත් අදාල ඇණවුම් භාර ගැනීම බීජ තොග ඔවුන් සතුව ඇති අවස්ථාවල පමණක් සිදුවන බව වෙබ් අඩවියේ දක්වා තිබේ.

හිරුඑළිය

හිරුඑළිය
∙ හිරුඑළිය බෝග නිෂ්පාදනයට අවශ්‍යම සාධකයක්.
∙ ගෙවත්තේ හැමතැනකටම ලැබෙන හිරුඑළියේ තිව්‍රතාවය එක සමාන නැහැ
∙ ඒ ඒ ආලෝක තිව්‍රතාවයට ගැලපෙන බෝග වර්ග තෝරා සිටුවිය යුතුයි
ජල සැපයුම
∙ එක් එක් බෝග වල ජල අවශ්‍යතාවය වෙනස්.
∙ වර්ෂාවෙන් ලැබෙන ජලයට අමතරව අවශ්‍ය විටක බෝග සඳහා ජලය සැපයිය යුතු
වෙනවා.
ප්‍රදේශය
∙ මෙයින් අදහස් වෙන්නෙ තමන් ජීවත්වන ප්‍රදේශයට උචිත/ගැලපෙන බෝග වර්ග
තෝරා ගැනීමයි.
∙ එහිදී තමන්ගේ ප්‍රදේශය අයත් වන දේශගුණික කලාපයට, පසට ගැලපෙන බෝග
වර්ග තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
ඉඩකඩ
∙ බෝග තෝරා ගැනීමේදී තමන්ගෙ ගෙවත්තෙ බෝග වගාව සඳහා ලැබී තිබෙන
ඉඩකඩ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.
∙ වගා කිරීමට ලැබී තිබෙන ඉඩකඩ ප්‍රමාණය හා ස්ථානය අනුව බෝග තෝරන්න.

සීමිත ඉඩකඩකින් ගෙවතු වගාව 

  1. වගා කුළුණු
    ∙ පෝර බෑග් එකක් මැදට තැනින් තැන කුඩා සිදුරු විදින ලද උණ බටයක් ඇතුළු කර
    ඉතිරි ඉඩ වගා මාධ්‍ය යෙන් පුරවා ගන්න.
    ∙ මේ වගා මාධ්‍ය වියළි ගොම, එළු පොහොර, කොම්පෝස්ට් සහ කොළරොඩු දහනය
    කළ පසු ඉතිරි වන අළු සමඟ පස් කළවම් කරගෙන සාදා ගන්න.
    ∙ පොහොර උරයේ තැනින් තැන ඇතුලු කළ උණ බට කැබලි වල පැළ සිටුවා ගන්න.
    ∙ දින දෙකකට වරක් ජලය උණ බටයට පිරවීම ප්‍රමාණවත් වේ.
    ∙ උණ බටය හරහා පුරවන ලද ජලය වගා මාධ්‍යයට සෙමින් කාන්දු වී මාධ්‍යය යේ ඇති
    පෝෂක ද්‍රව්‍ය. පැළයට ලබා ගැනීමට උපකාරී වේ.
  2. උණ බටයේ වගාව
    ∙ තවත් සරල තාක්ෂණික ක්‍රමයක් ලෙස උණ බටය භාවිතා කර වගා කිරීම
    හැදින්විය හැක.
    ∙ වියළි ගොම, කොම්පෝස්ට් පොහොර, එළු පොහොර සහ කොළරොඩු පුළුස්සා
    ඉතිරි වන අළු සමඟ ඇති පස් කලවම් කර ගැනීමෙන් වගා මාධ්‍යය සාදා ගන්න.
    ∙ උණ බටයේ තැනින් තැන කවුළු සාදා උණ බටය සම්පූර්ණයෙන්ම වගා මාධ්‍යයෙන්
    පුරවා ගන්න.
  3. වගා මළු
    ∙ මැටි බදුන්, ප්ලාස්ටික් පෝච්චි, සිමෙන්ති පෝච්චි ඉවතලන හාල් මළු යන ආදිය බෝග
    වගා කිරීම සදහා යොදා ගන්න.
    ∙ මේ සදහා වගා මාධ්‍ය ලෙස සම ප්‍රමාණයේ මිශ්‍ර කළ කොමිපෝස්ට් පොහොර හා
    මතුපිට පස් යොදා ගත හැකි අතර පස් සමග කොහුබත් මිශ්‍රකර ගතහොත් එය වගා
    මල්ලේ  පරිහරණයට පහසුවක් වන අතර තෙතමනය රදා ගැනීමට උපකාරී වේ.
    ∙ නිවස ආශ්‍රිතව ආලෝකය ලැබෙන ප්‍රමාණය අනුව වගා මල්ල තබන ස්ථානය
    වෙනස්තළ හැක.
  4. වගා රාක්ක
    ∙ ඉහලින් සරනේරු වලින් සම්බන්ධකළ හැකි වන සේ හේත්තුකොට පිහිටුවාගත් රාමු
    දෙකක් මත හරස් අතට පිහිළි පද්ධතියක් සවි කොට වගා රාක්ක සාදා ගත හැක.
    ∙ දැව රාමු මත උණ බම්බු පිහිළි හෝ වඩාත් කල්පවතින සේ G.I බට යොදා නිමවු රාමු මත
    පී.වී.සී. පිහිළි මේ සදහා යොදා ගත හැක. 
    ∙ කොහුබත් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කොට සෑදු මාධ්‍යයෙන් රාක්ක (පිහිළි )
    පුරවා ගන්න.

∙ මාධ්‍යට යොදන ජලයේ වැඩිමනත් කොටස බැස යාමට පිහිළි පහළින් කුඩා සිදුරු සකස්
කර ගන්න.
∙ රාක්ක දෙකක් අතර පරතරය අඩියක් වීම සුදුසුය.

  1. වගා බිත්ති
    ∙ නාගරික නිවස ආශ්‍රිතව පවතින කොන්ක්‍රීට් හෝ ගඩොල්  බිත්ති ඉදිකරන
    මෙහොතේ  ඒවාට සම්බන්ධව පිටතට සවිවී තිබෙන “L” ආකාර යකඩ ආධාරක
    නිර්මාණය කිරීමෙන් වගා බදුන් රැදවීම සදහා ආධාරකයක් පිළියෙල කර ගත හැක.
    ∙ හිස්ව පවතින සිරස් බිත්තියේ ඉඩකඩ මෙහිදී ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනේ.
  2. බඳුන්වල වගාව
    ∙ බදුන් සකස් කරගැනීමේදී, ලීටර 30-40 ප්‍රමාණයේ බඳුන් තෝරාගන්න.
    ∙ බඳුනේ පතුලේ හා පතුලට අඟල් 2-3 ඉහලින් ජල වහනය පහසු කරවීමට 1”
    ප්‍රමාණයේ සිදුරු 10-12 ක් සාදාගන්න.
    ∙ බඳුනේ පතුලට අඟල් 3-4 ප්‍රමාණයේ ගඩොල් / උළු කැබලි තට්ටුවක් යොදන්න
    ∙ ඉන්පසු බඳුන, බඳුන් මිශ්‍රණයේ මතුපිට (පස්: වැලි: ගොම හෝ කොම්පෝස්ට් 1:1:1
    අනුපාතයට) පුරවා සුදුසු පැළයක් සිටුවා ගන්න.

ගෙවතු වගාවේ පිළිපැදිය යුතු ගොවි උපදෙස් 

හිතකරබෝගසංකලන

∙ විවිධ බෝග රටා අනුගමනය කරමින් බෝග සංකලනයන් ඇතිකල හැකියි.
∙ මේ සඳහා තෝරාගත යුත්තේ හිතකර/මිශ්‍ර බෝගයි.
∙ හිතකර බෝග තෝරා ගත්විට එක් බෝගයක් වගා කිරීමෙන් අනෙක් බෝගයට හානියක් සිදුවන්නෙ නැහැ.

අතුරුබෝගවගාව

∙ බෝග 2ක් හරි වැඩි ගණනක් හරි මාරුවෙන් මාරුවට සකස් කරන ලද පේළි අනුව සමාන අවධානයකින් යුතුව එකම භූමියේ වගා කිරීමයි.

මිශ්‍රබෝගවගාව

∙ බෝග 2ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි ලෙස නිශ්චිත පේළිසකස් කිරීමක් නැතිව එකම ඉඩකඩක මිශ්‍රව වගා කිරීමයි.

බහුබෝගවගාව

∙ යම් භූමියක වසරක් හෝ යම් නියමිත කාලසීමාවක් තුල බෝග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් වගා කිරීමයි.

මුළුතැන්ගෙය අසල වගාකළ හැකි බෝග 

එදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න.

උදාහරණයක් ලෙස කරපිංචා, රම්පේ, සේර වැනි බෝග හැඳින්විය හැක.

වැඩිපුර තෙතමනය ප්‍රිය කරන වැඩි අවධානයක් යොමුකර රැකබලා ගත යුතු බෝගත් කුස්සිය අසලින් වගා කිරීම සුදුසුයි.

කාබනික පොහොර යොදාගැනීම 

දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර ලෙස සරලව හැඳින්විය හැකියි.

කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා.

එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

කාබනික පොහොර වර්ග:

  1. සත්ත්ව පොහොර
    ∙ ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
    ∙ කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.
  2. කොළ පොහොර
    ∙ ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
    ∙ කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
  3. කොම්පෝස්ට් පොහොර
    ∙ දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
    – ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
    – ගලවා දමනු ලබන වල් පැළෑටි
    – කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
    – පොල් කුඩු හා තේ කොළ
    – ලිපෙන් ඉවත් කරන අළු
    – වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
    – සත්ත්ව වසුරු
  4. ගැඩවිලි පොහොර
    ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.  

කොම්පෝස්ට් බැරලයක් සකසා ගෙන පොහොර ලබාගැනීම 

∙ මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
∙ කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
∙ කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
∙ සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
∙ බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි. 

ඉහත සදහන් කර ඇත්තේ ගෙවතු වගාව පිළිබද www.saubagya.lk වෙබ් අඩවියේ දක්වා ඇති වැදගත් කරුණුය. 

කුඩා ඉඩක ඔබටත් ඔබේ ආහාර බෝග වගා කර ගැනීමට උනන්දු කළ යුතු යැයි අපි කල්පනා කරන්නෙමු. නිර්මාංශ ඔබට පහසුවෙන් තම ආහාර ගෙවත්තෙන්ම සපයා ගැනීමට හැකියාව උදාවීමත්, ඔබගේ මානසික සතුටත් ගෙවතු වගාව ඔස්සේ ඔබට ලැබෙනු ඇත.

විශේෂයෙන් කොවිඩි-19 වැනි වසංගත පවතින කාලවලදී, අගලුවැටුණු නිවසක විවිධත්වය ළගා කර ගැනීමටත්, පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීමටත් ගෙවත්තේ වාග කෙරෙන එළවළු පළතුරු ඔබට නිතැතින් සහය වනු ඇත.

Meatless Monday Sri Lanka Team එක ඔබට මේ පණිවුඩය සිහපත් කරනුයේ නිර්මාංශ ඔබ මෙම කටයුත්තට වඩා ප්‍රිය කරන බව හැගී යන නිසාය. දැනටමත් ඔබ සෞභාග්‍ය උදාකරන ඵලදායී ගෙවතු වගාවක හිමිකාරිනියක හෝ හිමිකරුවකුනම් ඔබත් සතුටු වන්න. එසේ නොවන්නේනම් අදම ඒ සදහා ක්‍රියාත්මක වන්න. මෙවැනි උත්තේජයක් නැවත ඔබට ලැබීමට මෙවැනිම පීඩාවක් නැවත පැමිණෙනතුරු බලා සිටිය යුතු නැත. 

ඔබේ ගෙවත්තෙන් සකසා ගන්නා නිර්මාංශ ආහාරවේලක් වෙතොත් අපට ඒ අහාර වේල ගැන තොරතුරු එවන්න. එය අපේ ප්‍රයත්නයට අස්වැසිල්ලකි. 

 රමේෂ් වරල්ලෙගම 

පැළයක් සිටවමු ! අලුත් අවුරුද්ද සමරමු !

පැළයක් සිටවමු ! අලුත් අවුරුද්ද සමරමු !

සකල ලෝ වැසියන් සිටිනුයේ දෙලොවක් අතරය. අලුත් අවුරුද්දක් සිහිපත්වන තැනකට සමාජ වටපිටාව සැකසී නැත. කොරෝනා වසංගතය මුලු ලොවටම අගුලු දා තිබේ. මිනිස්සු ජීවිත අපේක්ෂාව පිළිබද සිහින දකිති.  

සිංහල-හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී ඇත්තේ ලොවම නිසල වී අගුලු වැටී ඇති මොහොතකය. අලුත් අවුරුද්දේ සංස්කෘතික හර පද්ධතීන් යා වන්නේ එකිනෙකා අතර සබැදියාව යා කරමිනි. 

පවුල, ගම, රට සහ මුලු මහත් ජාතියක්ම එකම මොහොතක එකට එක්ව නැකතට කටයුතු කරමින් අවුරුදු සැමරීම සිරිතය. හැමදාමත් වගේ පවුලේ සියලු දෙනා එකට එක්වන්නේ අලුත් අවුරුද්දටය. 

වෙනදා මෙන් නොව දැන් මාසයක පමණ කාලයක සිට පවුලේ සියලු දෙනා සිටිනුයේ එකටය. ඊට හේතුවී ඇත්තේ කොවිඩ්-19යි. අවුරුදු සැමරීම සදහා මුලිකවම සිදුවන පවුලම එකට එක්වීම සිදුවුවද, පවුලේ සැමටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් අද දින අවුරුදු ප්‍රීතියෙන් සැමරීමට නම් හැකියාවක් නැත. 

වෙනදා මෙන්, මහා පරිමාණයෙන් අවුරුදු මේස අද දින හැඩ වන්නේ නැත. ලොවම නිසොල්මන්වී මියැදෙන, මිනිසුන්ගේ විලාපයට සවන් යොමු කළ මොහොතක මෙරට සංස්කෘතික හර පද්ධතීන්ට ගරු කරන ජනතාව චාමෙට අවුරුදු සැමරීම කළද එහි ප්‍රීති ප්‍රමෝදයන් ඉතා අල්පව පවත්වාගනු නිසැකය.

නිර්මාංශ දිවි පෙවතක අරුත අන් කවරදාටත් වඩා මුළු ලොවටම දැනෙනන්ට වුයේ මෙම අදුරු වසංගතය ගෙයි දොරකඩට පැමිණ විටය. කොවිඩ්-19 මාරය දොරට තට්ටුකරන සෑම විටම ස්වභාව ධර්මයට එරෙහිවු වාරයන් ඇත්දැයි අපේ සිත අපගෙන්ම ප්‍රශ්න කරනවා නියතය. 

සත්ත්ව අහාරවල ආදීනව මෙවන් වසංගතයක් පැතිරයාම දක්වා ඛේදනීය තත්ත්වයකට පත්විය හැකියැයිද මතවාදී සංවාදයක් මෙම සිද්ධි දාමය පිටුපස දැනටත් කතාබහ වෙමින් තිබේ. කෙසේ වෙතත් දැන් මොහොතකට ඒ සියල්ල අමතක කරන්න.

පළමුව නිර්මාංශ (Vegan) දිවි පෙවතක් ගතකරන ඔබ සියලු දෙනාට නිර්මාංශ සදුදා ශ්‍රි ලංකා (Meatless Monday Sri Lanka Team) කණ්ඩායමේ අපි 2020 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! යි ප්‍රාර්ථනා කරන්නෙමු.

දෙවැන්න අපේ පණිවුඩයයි. ඒ ඔබ ශාකජනක ආහාර ලෝලීන් ලෙස මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් කළ හැකි පුංචිම පුංචි වැඩක් තිබේ. 

අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීමේ නැකත යෙදිලා තියෙන්නෙ අද (13) අපරභාග 10.43ට නැගෙනහිර බලා , ලබන 19 වැනිදා පුර්වභාග 11.38 දකුණු දිශාව බලා පැල සිටවීමේ නැකත කියලා වෙනම නැකතකුත් තියෙනවා. 

සමහරු මෙම නැකැත් අකුරටම පිළිපදින්නො වෙති. තවත් සමහරුන්ගේ හිතේ නැකත, ජීවිතයේ නැකත බවට පෙරලා ගත්තෝ වෙති. කෙසේ වෙතත් අපේ යෝජනාව ඔබේ ගෙවත්තේ කුඩා ඉඩක් අද දිනයේ අලුතින් පැළයක් සිටුවීම සදහා යොදාගන්න කියන පුංචිම පුංචි ඉල්ලීමයි. 

ඵල දරණ එළවළු පැළයක්, ඒ එක්ක ඔබට ප්‍රයෝජනවත් ඖෂධ පැළයක් වුවත් සිටුවන්න පුළුවන්. එය මේ අලුත් අවුරුද්දෙ ඔබේ මුළුතැන්ගෙය නැවුම් එළවළු සුවද හමන ගුණාත්මක ආහරවේලකට තවත් ශක්තියක්වේවි.

එහෙනම් ඔන්න මම නම් මගේ ආදිත්‍ය පුතාට කියලා, අපේ වැඩේට ආරම්භයක් ගත්තා. ඔබත් මේ 2020 අලුත් අවුරුද්දෙ හොද වැඩකින් වැඩ අල්ලලා, ජීවිතය සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත දිවි පෙවතකට අලුත් ආරම්භයක් ගන්න.

නිර්මාංශ ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 

මම රමේෂ් වරල්ලෙගම 

ෆින්ලන්තයේ නිර්මාංශ ඇප්, ජර්මනියේ මාංශ විකුණුම් බද්ධ සහ ශ්‍රි ලංකා පරිසර අමාත්‍යංශයේ නිර්මාංශ උත්සව සංකල්පය 

ෆින්ලන්තයේ නිර්මාංශ ඇප්, ජර්මනියේ මාංශ විකුණුම් බද්ධ සහ ශ්‍රි ලංකා පරිසර අමාත්‍යංශයේ නිර්මාංශ උත්සව සංකල්පය 


සංකල්ප වාචිකව හදුන්වාදීම පහසුය. නමුත් ඒවා බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීම අපහසුය. ශ්‍රි ලංකාව නිර්මාංශ සංකල්පයට මෑතක ලබා දුන් කදිම ආයෝජනය වුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට අදාල උත්සව පැවැත්වීමේදී ඒ සෑම උත්සවයක්ම නිර්මාංශ විය යුතුයැයි නිකුත් කළ උපදෙසයි. 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙම ක්‍රියාමාර්ගය සදහා මුලික පියවර ගත් නිලධාරියාය. ඒ අනුව දැන් රටක් ලෙස එක් අමාත්‍යංශයක් ඔස්සේ හෝ ශ්‍රි ලංකාව, ලෝකයේ බොහෝ මාතෘකා ගොඩනැගෙන දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීම, සත්ත්ව හිංසනය පිටුදැකීම ආදිය වෙනුවෙන් වැදගත් පියවරක් තබා තිබේ.

මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යාමට නම් රටක් ලෙස සියලු රාජ්‍ය ආයතන හෝ ඊට බලපෑම් කළ හැකි ආයතන දක්වාම මෙම නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය ගෙන යා යුතුය. ඒ සදහා වගකීම ඇත්තන් මෙවැනි කරුණු දෙස ඇස් යොමු කිරීම වැදගත්ය. 

පහතින් අප ගෙන එන්නේ මෑතක ලෝකයේ රටවල් දෙකක නිර්මාංශ ආහාර වෙනුවෙන් ගෙන ආ වැදගත් නවෝත්පාදන ක්‍රියාවලියක් සහ දේශපාලනික ඉල්ලීමක් ගැනය. අප රටේ පක්ෂ ‌ෙභ්දයකින් තොරව ලොව හොද දේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තුවනවානම් මෙවැනි මාතෘකා හෝ ලිපි දෙස දෙනෙත් විවර කර බැලිය යුතුය.

  • නිර්මාංශ ආහාරගැන මහජනතාව දැනුවත් කරන හෙල්සින්කි ඇප් එක.

ෆින්ලන්ත රජයේ  අගනගරය වූ හෙල්සින්කි නගර රජය එහි වෙසෙන පුරවැසියන් නිර්මාංශ ආහාර ලබාගැනීම සදහා දිරිමත් තිරීමේ අරමුණ පෙරදැරිව නව වෙඛ් අඩව්යක් සහ ඞ්ජිටල් සේවාවක් (APP) ක්‍රියාත්මක කර ඇත. මෙම සේවාව  “Think Sustainability” යන නමින් හදුන්වන අතර එය භාවිතා කරන්නන්හට හෙල්සින්කි නගරයේ නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ප්‍රචලිත අවහන්හල් වෙත යාම සදහා පහසුකම් සලසයි. 

මෙම සේවාව භාවිතා කිරීම සහ එහි නිර්දේශ ලබා ගැනීම සදහා ආහාර ලබා ගන්නන් විසින් අවම වශයෙන් එක් සමතුලිත නිර්මාංශ ආහාර වේලක් සදහා තම මනාපය ලබා දිය යුතු අතර තම කැමැත්ත පරිදි දේශීය අනුසාරයක් ඇති කාබනික අන්ර්ගතයන්ගෙන් යුක්ත නිර්මාංශ ආහාර ඇණවුම් කිරීමෙහි ලා එමගින් බලතල ලැබෙයි.

ඩෙමෝස් හෙල්සින්කි ආයතනයේ ‌ෙජ්‍යෂ්ඨ විශේෂඥ නිළධාරියකු වන සටූ ලටීනෝජා මහත්මිය විසින්  “Think Sustainability” යන මෙම නව වෙඛ් අඩව්යෙහි නිර්මාංශ ආහාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබද මෙසේ සටහන් කර ඇත. 

කිසියම් පුද්ගලයකු ඔහු ලබා ගන්නා ආහාරවලින් පරිසරයට නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණයෙන් අති විශාල ධනාත්මක ප්‍රතිඵලයක් ඇති වනුයේ සම්පූර්ණ නිර්මාංශ ආහාර වේලක් ලබා ගැනීමෙන් පමණි. (The biggest positive impact on one’s carbon footprint comes from a fully vegan diet”).

මෙම සේවාව ඔස්සේ සම්බන්ධ කර ගත හැකි අවන්හලක් වන Bun2Bun ආයතනය මගින් ඔවුන්ගේ නිෂ්පාදන වන බර්ගර් සදහා නිෂ්පාදන ක්‍රියාවලියේ නව පියවරක් තබමින් සියලු සත්ත්වමය ආහාර කොටස් බැහැර කර සම්පුර්ණයෙන්ම නිර්මාංශ අන්තර්ගතයන් යොදා බර්ගර් නිපදවමින් පාරිභෝගිකයා වෙත උසස් තත්ත්වයේ පෝෂදායී සෞඛ්‍යසම්පන්න ආහාර ලබා දීම සම්බන්ධව ගත් නව තීරණය පිළිබද සටහන්ය.

Bun2Bun ආයතනයේ ප්‍රාරම්භකයා සහ ප්‍රධන අරක්කැමියා වන පැසී හැසියිනන් මහත්මිය විසින් ඔවුන්ගේ නිෂ්පාදනය සම්බන්ධව ගත් මෙම නව තීරණය පාරිසරික ඇසින් පමණක් නොව ව්‍යාපාර දෘෂ්ට්කෝණයෙන් ද වාසිසහගත සහ නිවැරදිම තීරණයක් බව  “Think Sustainability”  නැමැති මෙම නව වෙඛ් අඩවියට පවසා තිබිණි. ඒ කෙස්ද යත් පෙර තිබූ අලෙවියට වඩා පස් ගුණයකින් නිර්මාංශ අන්තර්ගතයන් යොදා නිපදවනු ලබන බර්ගර් අලෙවිය ඉහළ ගොස් ඇති බැවිනි.  

2035 වර්ෂය වන විට කාබන් උදාසීන (Carbon neutral) නගරයක් බවට පත් වීමේ අරමුණ පෙරදැරිව  ෆින්ලන්ත රාජ්‍යයේ හෙල්සින්කි නගරය “Think Sustainability” නැමැති මෙම නවීන සේවාව ඔස්සේ හෙල්සින්කි නගරයේ පුරවැසියන් පුද්ගලික රථවාහන භාවිතයෙන් දුරස්කර පොදු ප්‍රවාහන සේවාවන් සහ පා පැදි භාවිතය සදහාද දිරිගන්වනු ලබයි. එසේම මෙම සේවාව මගින් නගර පුරවැසියන් වේගවත් විලාසිතා පසුපස හබා යාම අවම කිරීම සදහා ප්‍රතිචක්‍රකරණ අමුද්‍රව්‍ය වලින් නිපදවන ලද ඇද්‍රම් සහ පාවිච්චි කරන ලද භාණ්ඩ අලෙවි කරනු ලබන සාප්පු සංකීර්ණ හදුන්වා දෙනු ලබන අතර එම සාප්පු සංකීර්ණ කොළ පාට ටැග් එකක් මගින් පාරිභෝගිකයා වෙත පෙන්වා දීම සිදුවේ.

කාබන් උදාසීන – හෙල්සින්කි නගරයක් බිහි කිරීමේ වැඩසටහනේ  අධ්‍යක්ෂ කයිසා-රීටා කොස්කිනෙන් මහත්මිය විසින් මෑතකාලීන ගවේශණවලට අනුකූලව ඉදිරියේදී ඇති විය හැකි පාරිසරික උෂ්ණත්වය වැලකීම සදහා 2030 වර්ෂය වන විට සෑම ෆින්ලන්ත. පුරවැසියෙකු විසින්ම පරිසරයට නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණය ටොන් 10.3 සිට ටොන් 2.5 දක්වා අඩු කර ගත යුතු බවට පවසයි.

එසේම හෙල්සින්කිහි අලෙවිකරණ-ප්‍රධාන විධායක නිළධාරී වන ලෝරා ඇල්ටෝ මහත්මිය විශ්වාස කරන අන්දමට හෙල්සින්කි නගරය කරනු ලබන මෙම කාබන් උදාසීන කිරීමේ වැඩපිළිවෙල මුළුමහත් ලෝකයටම මහගු ආදර්ශයක් වනු ඇත. තවද හෙල්සින්කි නගරයට මෙසේ තම අරමුණ කරා ලගා විය හැක්කේ එම නගරයේ ඉතා හොදින් ක්‍රියාත්මක වන යට්තල පහසුකම් සහ ඉතා හොදින් දියුණු කරන ලද භාණ්ඩ හා සේවා නිපදවීමේ තෝතැන්නක් වීම නිසාය. 

  • ජර්මානු දේශපාලඥයෝ මාංශ සදහා ඉහළ විකුණුම් බද්දක් ඉල්ලති

ජර්මනියේ වෙසෙන හරිත සහ සමාජීය ප්‍රජාත්‍රන්තවාදී දේශපාලඥයෝ ගෝලීය උෂ්ණත්වය වැලකීම සහ සත්ත්ව සුබසාදන වැඩසටහන් සංවර්ධනය කිරීම සදහා මාංශ මත පනවා ඇති විකුණුම් බද්ද  7], සිට 19] දක්වා ඉහළ දැමිය යුතු බව පවසති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලබන පර්යේෂණ වලට අනුව 14.5] වන හරිතාගාර වායු මගින් මුදා හරින මීතේන් වායුව රථවාහත ප්‍රවාහනය මගින් ඍජුව පරිසරයට මුදා හරින අහිතකර වායූ ප්‍රමාණයට වඩා ඉහළය.

ජර්මානු දේශපාලඥයන්ගේ යෝජනාවලියට අනුව මාංශ මිලදී ගැනීම් සහ ගොව්පොල  වලින් ලාභදායීව මාංශ සැපයීම අඩු කිරීම සදහා නීති රීති පැනවිය යුතුය.

එනමුත් කෘෂිකර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යතුමිය වන ජූලියා ක්ලොක්නර් මහත්මිය පවසන්නේ  ගෝලීය උෂ්ණත්වය වැලකීම සහ සත්ත්ව සුබසාදන වැඩසටහන් සංවර්ධනය කිරීම උදෙසා මාංශ මත පනවනු ලබන විකුණුම් බද්ද වැඩි කිරීම සුදුසු නොවන බවත් එමගින් මාංශ අළෙවිය පහළ යා හැකි බැවින් ගොවීන්ගේ අදායම් තත්ත්වය ද පහළ යා හැකි බවය.

ජර්මානු රජය තුළ ආහාර සදහා අනුමත බද්ද වනුයේ 19] පමණ වූවත් මංශ ඇතුළු තවත් ආහාර රැසක්ම 7] දක්වා අඩු කරන ලද බදු අගය මත ඉහත වාසිය ලබමින් සිටියි. 

මෙම විවාදය තුලින් පැන නැගුණු කරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලැබූ වාර්ථාවක් හා සමපාත වන අතර එම වාර්ථාවට අනුව ඉහළ මාංශ පරිභෝජනය සහ කිරි නිෂ්පාදිතයන් ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීම සදහා ඉන්ධන සැපයීමක් මෙන්ය.  

එසේම පශු සම්පත මගින් මුදා හරින මීතේන් වායුව මගින් ඇතිවන අහිතකර බලපෑම වනාන්තර තුළට ද විනාශකාරී බලපෑමක් එල්ල කරන අතර එමගින් පස් මගින් අවශෝෂනය කර ගන්නා කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය මුදා හැර ශාක මගින් උරා ගන්නා කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය අඩු කරනු ලැඛේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානය විසින් පවසන අන්දමට පශු සම්පත් අංශ මගින් 14.5]  ක් පමණ හරිතාගාර වයු මුදාහරින බවත් ඇතැම් විට එය ගිගාටොන් 7.1]  ක කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණයනට සමාන වේ. එසේම මෙම ප්‍රමාණයන් සියලු රථවාහන ගුවන් යානා නැව් සහ අනෙකුත් ප්‍රවාහන සේවාවන් මගින් මුදා හරින අහිතකර වායූන්ට වඩා ඉහළ වේ.   

ජර්මානු  “Die Zeit” දිනපතා වාර්තා වලට අනුව සාමාන්‍ය ජර්මානුවෙක් වර්ෂයක් තුළ කිලෝග්‍රෑම් 60 ට ආසන්න ප්‍රමාණයක් මාංශ අනුභව කරයි. එනමුත් ජර්මානු පෝෂණ සංගමය පවසන ආකාරයට සෞඛ්‍යසම්පන්න පැවැත්මක් උදෙසා මෙම ප්‍රමාණය කිලෝග්‍රෑම් 30 ක් දක්වා අඩුවිය යුතුය.

මෙම වර්ෂයේ පළමු මාස 06 තුළ ජර්මනිය විසින් නිෂ්පාදනය කර ඇති මාංශ ප්‍රමාණය ටොන් 3.9 ක ප්‍රමාණයක් වන අතර එය කුකුළු හා තාරා ඝනයේ සත්වයන්ගෙන් තොර සත්ත්ව ඝාතන මගින් නිපදවන ලද මාංශ වේ. 

යුරෝපියානු සංවිධාන නීති රීති වලට අනුකූලව අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සදහා මෙන්ම ආහාර සදහා ද අඩු කරන ලද බදු වල ප්‍රතිලාභ ලැබීමට හිමිකම් ඇත. එනමුත් මධ්‍යසාර පළතුරු බීම සහ සමහර වර්ගයේ ඇතැම් ආහාර සහ බීම සදහා සම්මත විකුණුම් බද්ද අය කරනු ලැඛේ. උපරිම සම්මත බදු අගය 15] වන අතර අවම බදු අගය 5 ] ක් පමණ වේ.

ජර්මනිය තුළ ඉහත කී අඩු කරන ලද බද්ද සුරතල් සතුන්ගේ ආහාර මත පැනවෙන අතර ළදරු ආහාර මත පැනවෙන්නේ නැත. එසේම කැරට් මත මෙම අඩු කරන ලද බද්ද පැනවෙන අතර කැරට් බීම සදහා පැනවෙන්නේ නැත.

එක්සත් රාජධානිය තුළ (UK) ආහාර මත පැනවෙන බද්ද 0] වන අතර එය යුරෝපියානු සංවිධාන නීති රීති වලට අනුකූල වේ.

යුරෝපියානු සංවිධානය තුළ ඇතුලත් සාමාජික රටවල් සදහා මෙම එකතු කළ අගය මත බදු අගයන් වෙනස් වන නමුත් බදු අයකිරීම් රජයක ඉහළ මට්ටමේ වගකීමක් ලෙස සැලකේ. එනමුත් යුරෝපියානු සංවිධානය විසින් මෙම බදු ප්‍රතිසංස්කරණය කර අහිතකර බදු අයකිරීම මගින් පුරවැසියන් වංචාවට හසුවීම වැලකීම සදහා දීර්ඝකාලීන සැලසුම් නිර්මාණය කරමින් සිටියි.

රමේෂ් වරල්ලෙගම  

The Vegan හදලා වීගන් රහට හිත් යා කරන අපේ ඉංජිනේරුවා

The Vegan හදලා වීගන් රහට හිත් යා කරන අපේ ඉංජිනේරුවා

වෙජිටේරියන් සහ වීගන් අතර වෙනස දන්නෙ කීයෙන් කී දෙනාද ? මස් මාලු විතරක් නෙමෙයි කිරි බිත්තරවත් අනුභව නොකර මුළුමනින්ම ශාක ජනක ආහාර පරිභෝජනය කරන ජන කොට්ටාශයක් ඉන්නවා ඒ වීගන් අය. මේ වීගන් කියන දේ අපට තවමත් නුහුරු වුණාට ලෝකයේ බොහෝ රටවල වීගන් කියන තේමාව අද ජනප්‍රිය තේමාවක්. ඇත්තටම වීගන් වීමෙන් ඔබට ලැබෙන්නෙ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් විතරක්ම නෙමෙයි. ඔබ වීගන් වීමෙන් ලොවට පරාර්ථකාමී අර්ථවත් මිනිසකු බව හඩගා කියනවා. ඒ නිසාම සතුන් පමණක් නොවෙයි ගහකොල පවා රැකෙනවා. දේශගුණික විපර්යාස බලපෑම අවම කරන්න දායක වෙනවා. මේ හැමදේම තිබුණත් වීගන් වෙන එකත් ලෙහෙසි වැඩක් නෙවෙයි කියලා ඇතමෙක් කලින් කල්පනා කරන්නට ඇති. නමුත් වීගන් අවන්හල් දොරෙන් දොරට යාවෙනකොට අපටත් වීගන් රහ බලන්න ඒ රහ එක්ක ජීවත්වෙන්න අවස්ථාව උදාවෙනවා. නවෝද් කවින්ක පයාගල කිය්නෙ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. හැබැයි මේ තරුණයා අනෙක් අයට වඩා වෙනස් විධියට හිතන තරුණයෙක්. පුංචිකාලේ වීගන් නොවුන කවින්ක බොරලැස්ගමුව, කොළඹ හොරණ පාරේ රත්තනපිටිය 117/බී /1 ස්,ථානයේ The Vegan අවන්හල විවෘත කළේ පසුගිය පොහොය දිනයෙදියි. Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට අප ඔහුව මෙසේ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්කරගනු The Vegan  ගැන තවත් බොහෝ දේ දැනගන්න. ඒ විතරක් නෙමෙයි රටට ලෝකෙට ආදර්ශයක්වන මෙවැනි අදහස් තවත් ප්‍රචලිත කිරීමේ අදහසින්.

කවින්ක කොහොමද ජීවිතේ ?

ඉතාමත් හොදින් ඉන්නවා. මේ දවස්වල වැඩිපුර කාර්ය බහුල වුණා රැකියාව මෙන්ම අපේ The Vegan අවන්හලේ කාර්යන්ට සම්බන්ධවීමට සිදුවුණ නිසා.

පුංචි කාලෙ වීගන් නොවුන ඔබ වීගන් වුණ හැටි කැමතියි දැනගන්න ?

ඔබ කිව්වා හරි මම කුඩා කාලයේ වීගන් ආහාරයට ගත්ත කෙනෙක් නෙමෙයි. මම වෙජිටේරියන් වෙලා පසුව වීගන් වුණ කෙනෙක්. පාසල් යන කාලයේ ඉදන් බල්ලො පුසන්ට අදාරය කළා. සාමාන්‍යපෙළ කරන කාලෙ වෙනකොට හරක් මරණ එකට කැමැති නැහැ. හරක් මස් කනවට විරුද්ධයි. හැබැයි තර්කයක් අනුවයි මම මස් මාලු හා කිරි බිත්තරවලින් පවා ඉවත්වෙලා වීගන් ආහාර රටාවකට හුරුවෙන්නෙ.

කොළඹ රාජකීය විද්‍යාලයේදිද මෙම අදහස ඔබට වැටහුණෙ ?

පාසල් කාලයේ ඉදන් මම අර කිව්ව අදහස්වල මම හිටියා. හැබැයි මම තාර්කිකව හිතන්න ගත්තා මොකද්ද නිවැරදි දේ කියලා. ඇත්තටම පව පින අනුව හිතලා නෙමෙයි මම වීගන්‌ වෙන්නෙ. තර්කයක් තියෙනවා නේ අනුන් මරණ මස් අපි කෑවට කමක් නෑ අපි නෙමෙයි මරන්නෙ කියලා. හැබැයි අපි කණ නිසා තමයි ඒ ඉල්ලුමට හරියන්න සතුන් මැරෙන්නෙ. අපි කිරි බොන නිසා තමයි ඒ සතුන්ගෙ කිරි ගන්න වෙළදාම ඉහළට එන්නෙ. ඒ තත්ත්වයයි මග හරින්න උවමනා වුණේ.

වීගන් වලට වඩා සමාජයේ බැලු බැල්මටම ඉල්ලුම තියෙන්නෙ මාංශ ආහාරවලට ඔබ පටන් ගන්නෙ එවැනි ව්‍යාපාරයක් ?

ඇත්තටම මට මෙතන වැදගත් වුණේ තේමාව. වීගන් පාරිභෝගිකයන්ට ඇවිත් වීගන් අවන්හලක තමන් කැමැති නිදහසේ ඉදලා ආහාරවේලක් අරගෙන යනවා නම් අර මගේ තියෙන තේමාවට ඒක ගැලපෙනවා. ඒකට මම කැමැතියි. මට අපේ ආයතනයේ සාමාජිකයෙක් කිව්වා සර් යුවලක් ඇවිල්ලා පැය ගාණක් හිටියා හැබැයි බ්ලැක් කොෆි දෙකක් විතරයි බිව්වෙ කියලා. මම කිව්වා කමක් නෑ මොන තරම් වෙලා හිටියත්. අපට අවශ්‍යය වෙන්නෙ මේ වීගන් පණිවුඩය රටටත් ලෝකයටත් ගෙනයාම කියලා. ඒ නිසා ලාභයම නෙමෙයි මගේ අරමුණ. මට ජීවත්වෙන්න රැකියාවක් තියෙනවා.

වීගන් අවන්හලක් පටන් ගන්නවා කිව්වම අනෙක් අවන්හලකට වඩා අභියෝග ගණනාවක් එනවා ?

ඔව් ඇත්ත. මාත් එක්ක මේ වැඩේ කරන්න එකතුවුණේ මගේ මල්ලි විනෝද් නවින්ක පයාගල, ඔහු වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්. ලක්ෂාන් බුද්ධික මගේ මිතුරා ඔහුත් ඉංජිනේරුවරයෙක්. නිශාන් අනුරුද්ධ මගේ පාසල් මිතුරා. මේ අයගෙත් විශේෂත්වය තමය් ඔවුන් එක්කො වෙජිටේරියන් නැතිනම් වීගන් වීම. මගේ අරමුණට මේ වැඩේට සම්බන්ධවුණ පිරිසත් ගැලපුණේ එහෙමයි. අම්මත් ඇවිත් උදව් කළා මුල ඉදන්ම මේ වෙලාවේ ඇයත් මතක් කළ යුතුමයි.අනෙක් කාරණය සාමන්‍ය බටර් එකකට වඩා වීගන් බටර් එකක මිල දෙගුණයකටත් වැඩියි. අනෙක් හැම අමුද්‍රව්‍යක්මත් සාමාන්‍ය දේට වඩා කිහිප ගුණයකින් මිලෙන් අධිකයි. හැබැයි. ඒ අභියෝග භාරගෙන වීගන් රසිකයන් වෙනුවෙන් කටට රහට ආහාර නිර්මාණය කරන්න මගේ පාසල් මිතුරා නිශාන් විශාල වෙහෙසක් ගන්නවා. මිලත් සාධාරණයි. 

දැන් The Vegan අවන්හලට ඇවිත්  රහට කන්නයි හිතෙන්නෙ ?

සිනාසෙයි. අපි බර්ගර් සහ සම්මැරීන් විවිධ වර්ගවලින් දැනට ලබා දෙනවා. බර්ගර් සම්මැරීන් විතරක් නෙමෙයි අප වීගන් ඩ්‍රින්ක්ස් හදුන්වලා දෙනවා. කිරල, කැරට්, වගේ අලුත් හදුන්වාදීම්, ඒ වගේම සියලුම පළතුරුවර්ගවල බීම වර්ග අපේ අවන්හලට ඇවිත් ලබාගන්න පුළුවන්. දැනට පටන් ගත්ත විතරයි. තව බොහෝ දුර යන්න තියෙනවා. අලුත් අලුත් වීගන් කෑම අපේ The Vegan පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දෙන්නයි අපේ වෑයම.

ඔන්න එහෙනම් කවින්ක ඇතුළු The Vegan කණ්ඩායමට Meatless Monday Sri Lanka කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්. බොරලැස්ගමුව පැත්තෙන් යන එන ගමන් The Vegan අවන්හලට ගිහිං බලන්න. වීගන් තාරුණ්‍යය එක්ක කෑම වේලක රස බලන්න. උදේ 10 ඉදන් රෑ 10 වෙනකම් විවෘතව තියෙනවා. විස්තර උවමනා නම් 0113640470 දැනගන්න පුළුවන්.අපේ යහළුවන්ටත් මේ පණිවුඩය හුවමාරු කරන්න. ජය ! 

රමේෂ් වරල්ලෙගම /සජානි කපුකොටුව Meatless Monday Sri Lanka