Photo Credits : Sivaneswaran Chandrasekaran

සම්මා සම්බුදුරාජණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑමේ තෙමගුල සිහි කොට බෞද්ධ බැතිමතුන් බුදු ගුණ සිහි කරමින් ප්‍රතිපත්ති හා ආමිස පුජා පවත්වන වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.

ආගමික භේදයක් නොදකින අපි Meatless Monday Sri Lanka Team කණ්ඩායම වශයෙන් අප සමග සහෘදවී සිටින සියලුම බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ! පාර්ථනා කරන්නෙමු. 

ලොව පුරා පැතිර යමින් තිබෙන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙවර  වෙසක් මංගල්‍යය සුවිශේෂි සන්ධිස්ථානයක් පසු කරයි. වෙනදාට ආටෝප සාටෝප බහුල වෙසක් දිනය අද එම දවසේ ඇති සුවිශේෂී අර්ථයට සීමාවෙමින් සැමරීමට ස්වභාව ධර්මයෙන්ම ඉඩ සලසා තිබේ. 

වෙසක් දිනය මීටපෙර වෙන්වුයේ වැඩි වශයෙන් ආමිස පුජාවට තැනක් ලබා දෙමින් යැයි ඇතමෙක් කල්පනා කරති. ඊට හේතුව ප්‍රතිපත්ති පුජා අභිබවා යමින් ආමිෂ පුජාවට සමාජයේ ලැබුණු ඉඩ ප්‍රස්ථාවයි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය  ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද පුජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමියෝ මෙවර වෙසක් පොහොය සුවිශේෂී වීමට හේතුවී තිබෙන ධර්මතාව පැහැදිලි කළහ.

තථාගතයන් වහන්සේ ආමිස පූජාවට වඩා  ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛතාවය දී ඇත්තේ ප්‍රතිපත්ති පූජාව නිවන් මඟ පසක් කෙරෙන මාවත නිසයි. එබැවින් මෙවර සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට සැබෑවට ම ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පිදීමේ අනර්ඝ අවස්ථාව සැලසී තිබෙනවා. 

 රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් කිසිදු විහාරස්ථානයක සුපුරුදු වෙසක් පොහෝ දින ආගමික වැඩ වැඩසටහන් නොපැවැත්වෙන නමුදු සීලයෙහි වටිනාකම හා ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙන ඔබ සිය නිවස උපෝසථ සමාදානය සඳහා සුදුසු ම ස්ථානය බව කල්පනා කරන්න යැයි බෝපැත්තේ සෝමානන්ද හිමියෝ පවසති.

මෙම  වෙසක් සමය පුරාවටමත් ඉන්පසුවටත් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්ම පර්යායක් මතක් කර දීමට මම අදහස් කරමි. 

සංයුක්ත නිකායේ ඛන්ධ වග්ගයෙහි නකුලපිතු වග්ගයට අයත් පළමු සූත්‍ර දේශනාව නකුලපිතු සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි නම් නුවර භේසකලා නම් වූ මිගදායෙහි වැඩ සිටි සේක. නකුලපිතා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හිඳ තමාගේ ශාරීරික දුබලතාවයන් ප්‍රකාශ කරන්නට විය.

 තමා දැන් ඉතා මහලු බවට පත්ව ඇති බැවිනුත්, ඉතා වයෝවෘද්ධ බවට පත්ව ඇති බැවිනුත් නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට හා මහා සංඝරත්නය සමඟ දහම් සාකච්ඡාවන් සිදු කිරීමට පැමිණීමට නොහැකි බව ද දන්වා සිටියේය. 

අනතුරුව ඔහු බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. එනම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මට අනුකම්පා පිණිස දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතින අනුශාසනාවක්, අවවාදයක් කර වදාරණ සේක්වා යි යනුවෙනි.  එහිදී බුදුරජාණන් වහන්සේ නකුල පිතා අරමුණු කරගෙන මෙකී සුවිශේෂී ධර්ම පර්යාය දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ, ලෙඩවෙන ශරීරයක් උරුම මිනිසා සිත ලෙඩ නොකර ගන්නා වූ ප්‍රතිපදාවක් දියුණු කිරීමට මහන්සි විය යුතු බවයි.

මේ ගත වන්නේ වසංගත රෝග පීඩා සහිත සමයකි. බොහෝ දෙනෙකු ශරීරය ලෙඩ වීමට නොදී ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක්, මහන්සියක් දරනු ලබයි. එය සැබවින් ම පැසසීමට යුතු කරුණකි. එනමුත් ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් පවා නො පිළි ගනිමින් කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් වන්නේය. කෙසේ වෙතත් ගත ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට දරන වෙහෙස මහන්සිය සිත නිරෝගී බවට පත්කර ගැනීම සඳහා කොපමණ දුරට දරන්නේ ද යන්න ගැටළු සහගත ය.

 ගත රෝගී වීම වැලැක්වීමට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව විවිධ ක්‍රියාමාර්ග ගන්නා මිනිසා සිත රෝගී වීමෙන් වළක්වා ගැනීමට ගන්නා වූ ක්‍රියාමාර්ගය කුමක්ද ? අත්හැරීම ඇත්තේ එතැනය. ඒ අනුව නිවන් මග අවබෝධ කරගත හැකි මාර්ගය ඇතුළත් ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වා දුන් සේක. එම ප්‍රතිපදාව වඩමින්, දියුණු කරමින් ලෙඩ නොවන සිතක් පවත්වා ගැනීමට සියලු දෙනට හැකියාව තිබේ. 

බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ප්‍රායෝගිකව ජීවත් වෙමින් ලෙඩ නොවන නිරෝගිමත් සිතක් සකස් කරගන්නා ප්‍රතිපදාව දියුණු කිරීමට උත්සුක වුහ. ඒ ලෙඩ නොවන, නිරෝගිමත් සිත ඔබ නිවන් මඟ වෙත යොමු කරනු ඇතැයි අපේක්ෂාවෙනි. 

දාන, ශීල, භාවනා ආදී පින්කම් කිරීම නිවනට ළඟා වීමේ මාර්ගය යි. එහි දී ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු විස්තර කර ගත්තොත්, ‘දානයක් දෙනවා කියන්නේ තමන් සතු දෙයක් අත් හරිනවා කියන එක යි’ ශීලයක දීත් කරන්නේ අත්හැරීමකි. දානයක දී අත්හරිනවා යනු අපි කොහොමත්ම දන්නා කරුණකි. ශීලයේ දී අපි අත හරින්නේ කුමක් ද? පංච දුශ්චරිතය යි. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම අත්හැරීම, කාමයේ වරදවා හැසිරීම අත්හැරීම, බොරු කීම අත්හැරීම සහ මධ්‍යසාර භාවිතය අත් හැරීම යි. එසේනම්, දානයේ දී පමණක් නො වෙයි, අත් හැරීම සිද්ධ වෙන්නේ, ශීලයේදීත් සිද්ධ වෙන්නේ අත්හැරීමකි. භාවනාවේ දී පවා සිද්ධ වෙන්නේ අත්හැරීමකි. උදාහරණ වශයෙන් මෛත්‍රී භාවනාව ගනිමු. එහි දී අපි අත් හරින්නේ තරහ, වෛර, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අකුසල ධර්මයන් ය. එහි දී භාවනා වැකි වශයෙන් සඳහන් කරන්නේ, ‘මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ආදී වශයෙනි.

මේ නිසා අදවැනි උතුම් වෙසක් මංගල්‍ය දිනයක  මාංශ ආහාර අත්හැරීමෙන් ඔබ්බට ..ඔබ යා යුතු මග ගැන ඉගියක් ලැබෙන බව සිහිපත් කළ යුතුයි. 

රමේෂ් වරල්ලෙගම