2016 අපේ‍්‍රල් 22 වැනි දා සුවිශේෂී වන්නේ හුදෙක් මිහිකත දිනය එදිනට යෙදී ඇති නිසා පමණක් නොවේ. රටවල් 170ක රාජ්‍ය නායකයන් නිල වශයෙන් පැරිස් සම්මුතියට අත්සන් තැබීම ද එම දිනය තවත් සුවිශේෂී දිනයක් බවට පත්කිරීමට හේතුවී ඇත. කාලගුණික විපර්යාස හමුවේ වර්තමානයේදි පරිසර හිතකාමී බව හැකිතාක් දුරට හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම දැවෙන ප‍්‍රශ්නයක් වී තිබේ. එසේවුවද පාරිසරික සංරක්ෂණය පිළිබඳ ගැටලූ විසඳීමේදී සත්ව හිංසනය පිළිබඳ දැනුවත්භාවය තිබීම දැකිය හැකිවුවත් ගෝලීය උෂ්ණත්වය හා දේශගුණික විපර්යාස සන්දර්භය තුළ පශු සම්පත පිළිබඳ ඇති අවධානය ඉතාම විරල ය. 

මාංශ කර්මාන්තය හා හරිතාගාර වායු විමෝචනය

කාලගුණ විපර්යාසවලට විශාල වශයෙන් හේතුවී ඇත්තේ කාබන්ඩයොක්සයිඞ්, මීතේන් හා නයිට‍්‍රස් ඔක්සයිඞ් විමෝචනය වන අතර ආහාර සඳහා සතුන් භාවිත කිරීම ඉහළ යාමෙන් මෙම වායු විමෝචනයට වැඩි දායකත්වයක් සපයනු ලබයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය කර ඇති ආකාරයට, ජීවන චක‍්‍රය සඳහා වන පාරිසරික බලපෑම සහ ආහාර සඳහා ගන්නා සතුන්ගේ සැපයුම් දාමය ඉහළ යාම හේතුවෙන් ‘අඩුම තරමින් ලෝකය පුරා වාර්ෂික හරිතාගාර වායු විමෝචනයෙන් 51%’ පමණ දායකත්වයක් සපයන
බවය.

පශු සම්පත් හා සම්බන්ධ කටයුතුවලදී පොහොර කළමනාකරණය සහ සතුන්ගේ ස්වභාවික ජීර්ණ කි‍්‍රයාවලිය ද මීතේන් වායු විමෝචනයට වැඩි වශයෙන් හේතුවන බවට සොයාගෙන තිබේ. නයිට‍්‍රස් ඔක්සයිඩ් විමෝචනය සිදුවන්නේ පොහොර යෙදීම හා තැන්පත් කිරීම වැනි පොහොර කළමනාකරණ කටයුතු වලදීය. පශු සම්පත් අංශයේ ‘ආහාර නිෂ්පාදනය සඳහා පොහොර නිෂ්පාදනය කිරීමේදී, ෆොසිල ඉන්ධන දහනයේදී, නිෂ්පාදන ක‍්‍රියාවලියේදී සහ ශීතකළ නිෂ්පාදන ප‍්‍රවාහනයේදී’ කාබන්ඩයොක්සයිඩ විමෝචනය සිදුවේ.  මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මිනිසාගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් 9%ක ප‍්‍රතිශතයක් සිදුවන්නේ සත්ව ගොවිපළ කටයුතු හේතුවෙනි. එමෙන්ම ලොව පුරා  37%ක්ම ඇත්තේ මිනිසා විසින් ඇතිකරනු ලබන මීතේන් වන අතර, මිනිසා විසින් ඇතිකරන නිට‍්‍රස් ඔක්සයිඩ් 65%ක ප‍්‍රතිශතයක් පවතී. තව ද වන විනාශය, කාන්තාරකරණය, වගාබිම්වලින් නිකුත් කරන කාබන්වලට ද ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ද පශු සම්පත ය.

කාලගුණ විපර්යාසයන්ට විසඳුම් ලෙස ආහාර පරිභෝජන රටාව වෙනස් කිරීම

කාලගුණ විපර්සාය සඳහා වන අන්තර්රාජ්‍ය මණ්ඩලයේ වාර්තාවකින් හෙළිකරන ලද තොරතුරු වලට අනුව, ආහාර රටාව වෙනස් කිරීම තුළින් විමෝචනය ‘සැළකිය යුතු මට්ටමකින් අවම කරගත හැකිබවට’ වන සොයාගැනිම එක්තරා සන්ධිස්ථානයක් බව කිය හැකිය. එය මාංශ පරිභෝජනය අවම කිරීම සඳහා අත්‍යාවශ්‍යයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ගැනීමට පෙළඹවීමක් ඇති කරනු ලබයි. එමෙන්ම සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පිළිබඳ මෙමගින් ප‍්‍රවර්ධනය කරන අතර, පාරිසරික පිරිහීම ද වළක්වාළයි. අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ‘2050 වනවිට මාංශ පරිභෝජනය 75%ක් දක්වා වර්ධනය වන’ බවය. එමෙන්ම 2020 සිට චීනය පමණක් මාංශ හා කිරි නිෂ්පාදන මෙටි‍්‍රක් ටොන් 20ක් වාර්ෂිකව භුක්තිවිඳීමට අපේක්ෂා කරයි. 2006 ත් 2050ත් අතර කාලයේදී මිනිස් ජනගහනයේ වැඩිවීම 35%ක් බවට ගණන් බලා තිබේ. ඒ අනුව ලොව පුරා පශු සම්පත දෙගුණයක් වනු ඇති අතර පශු සම්පත හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනයේ ඉහළ යාම ද කාලගුණ විපර්යාස කෙරෙහි අවදානම් සාධකයක් වනු ඇති බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය අපේක්ෂා කරයි.  


මේ නිසාම, බලපෑම්සහගත උපායමාර්ග කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතු වේ. ඒ සඳහා පශු නිෂ්පාදන වෙනුවට වඩාත් හොඳ ආදේශක හඳුන්වාදිය යුතුය. එහිදී එක් මාංශ නිෂ්පාදනයක් වෙනුවට තවත් නිෂ්පාදනයක් ආදේශ කිරීමට වඩා අඩු කාබන් විමෝචනයක් සිදුකරන ආදේශක හඳුන්වා දීම වඩා වැදගත් ය. සත්ව හිංසනය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළක් ලෙස සත්ව ගොවිපළ කටයුතු සඳහා සීමා පැනවීම සඳහා නීතිවේදීන්ට බලපෑම් කිරීම මගින්, ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන පශු සම්පත්වල දායකත්වය පිළිබඳ අවධානය වැඩි වැඩියෙන් යොමුකිරීමේ වැදගත්කම ද කියාපායි. එබැවින් මෙවර මිහිකත දිනයේ පටන්, මුළුමහත් පෘථිවියෙහි ජීවත් වන සියල්ලන් වෙත තිරසාර ජීවිතයක් සහතික කිරීම උදෙසා සතුන්ගේ
ආරක්ෂාව තහවුරු කිරීමට අදිටන් කරගනිමු.